ශ්‍රී ලංකා පන්දු යවන්නන් හමුවේ අයර්ලන්ත පිතිකරුවන් අසරණ වෙයි

ශ්‍රී ලංකා පන්දු යවන්නන් හමුවේ අයර්ලන්ත පිතිකරුවන් අසරණ වෙයි

සංචාරක අයර්ලන්ත කණ්ඩායම සමඟ පැවැත්වෙන පළමු ටෙස්ට් තරගයේ වැඩි වාසි අත්කර ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත්වී සිටී.

දෙවන දිනය නිමා වනවිට සිය පළමු ඉනිම සඳහා අයර්ලන්තය කඩුලු 7ක් දැවී ලකුණු 117ක් ලබා අසීරු අඩියක පසුවෙයි.

තරගයේ පළමු දිනය වූ ඊයේ දිනය නිමා වනවිට ශ්‍රී ලංකා පිල සිය පළමු ඉනිම සඳහා කඩුලු 4ක් දැවී ලකුණු 386ක් ලබා සිටියේය.

ඊයේ සෑඳෑ ආරක්ෂකයා ලෙස පිටියට පිවිසි ප්‍රභාත් ජයසූරිය ලකුනු 16කටත්, ධනංජය ද සිල්වා ලකුණු 12කටත් අද දින දැවී ගියේය.

අනතුරුව දිනේෂ් චන්දිමාල් සමගින් පිටියේ එක්වු සදීර සමරවික්‍රම 7වන කඩුල්ලට ලකුණු 183ක නොබිඳුනු ලකුණු සබඳතාවක් ගොඩනැගුවේ ශ්‍රී ලංකා ඉනිම ලකුණු 600 සීමාව ආසන්නයට ගෙනයමිනි.

දිනේෂ් චන්දිමාල් සිය ටෙස්ට් ක්‍රිකට් දිවියේ 14වන ශතකය අද වාර්තා කළේය.

වසර 6කට පසු ටෙස්ට් කණ්ඩායමේ ස්ථානයක් හිමිවූ සදීර සමරවික්‍රම එම කැඳවීමට සාධාරණයක් ඉෂ්ට කරමින් අද තරගයේදී සිය මංගල ටෙස්ට් ශතකය වාර්තා කිරීමට සමත්වුණි.

කඩුලු රකින ක්‍රීඩකයෙකු මෙලෙස ශ්‍රී ලංකාව වෙනුවෙන් ශතකයක් වාර්තා කළේ වසර 7කට පසුවය.

ඒ අනුව ශ්‍රී ලංකා පිල පළමු ඉනිමට කඩුලු 6ක් දැවී ලකුණු 591ක් ලබා සිටියදී සිය ඉනිම අත්හිටුවීමට තීරණය කළේය.

අත්හිටුවනවිට දිනේෂ් චන්දිමාල් නොදැවි ලකුණු 102ක් සහ සදීර සමරවික්‍රම නොදැවී ලකුණු 104ක් ලබා සිටියා.

සදීර සමරවික්‍රම අද වාර්තා කළ ලකුණු 104 වාර්තා වුණේ ටෙස්ට් ඉනිමක ශ්‍රී ලංකා පිතිකරුවෙකු අංක 8 පිතිකරු ස්ථානයේ රැස් කළ වැඩිම ලකුණු සංඛ්‍යාව ලෙසය.

පිළිතුරු ඉනිම ක්‍රීඩා කරන අයර්ලන්තය අද තරගයේ දෙවන දිනය නිමා වනවිට කඩුලු 7 ක් දැවී ලකුනු 117ක් රැස් කරගෙන සිටී.

පන්දුයැවීමේදී ප්‍රභාත් ජයසූරිය කඩුලු 5ක් සහ විශ්ව ප්‍රනාන්දු කඩුලු දෙකක් දවා ගත්තේය.

COMMENTS