චීනයට රිලවු ලබා දීම ගැන කෘෂිකර්ම ඇමතිගෙන් පැහැදිලි කිරීමක්

චීනයට රිලවු ලබා දීම ගැන කෘෂිකර්ම ඇමතිගෙන් පැහැදිලි කිරීමක්

චීනයට මෙරට රිලවුන් ලබා දිය හැකි වන්නේ ඒ සම්බන්ධව අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය මත පත් කරන කමිටුව නිර්දේශ කළහොත් පමණක් බව කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර සඳහන් කර තිබේ.

චීනයේ පුද්ගලික සත්වෝද්‍යාන දහසක් පමණ පවත්වා ගෙන යන සමාගමක් ඔවුන්ගේ සත්වෝද්‍යාන සඳහා රිලවුන් ලබා දෙන ලෙස ඉල්ලීමක් කර ඇති බව කෘෂිකර්ම අමාත්‍යංශය පවසයි.

“බොහෝ පරිසරවේදීන් හා පරිසර සංවිධාන වගාවන්ට සතුන්ගෙන් සිදුවන හානි සම්බන්ධව වගකීමක් සහිතව කටයුතු කරනවා. ඒ වගේ ම තවත් සමහරු වලිගේ පාගා ගෙන කතා කරන බවකුත් පෙනෙනවා.

අපේ රටේ රිලව් ලබා දෙන ලෙස චීනයෙන් ඉල්ලීම ඉදිරිපත් වුණත් ඒ සම්බන්ධව මෙතෙක් අවසන් තීරණයක් ගෙන නැහැ. මෙම කටයුතු පිළිබඳව පවතින නීත්‍යනුකූලභාවය ගැනත් අපි සලකා බැලිය යුතුයි. ඒ සඳහා වනජීවී දෙපාර්තමේන්තුව, සත්ව උද්‍යාන දෙපාර්තමේන්තුව, නීතිපති දෙපාර්තමේන්තුව, කෘෂිකර්ම අමාත්‍යංශය හා කෘෂිකර්ම දෙපාර්තමේන්තුව ඇතුළු අංශවල නියෝජිතයින්ගෙන් සමන්විත කමිටුවක් පත් කරනවා.

එම කමිටුව පත් කරන්නේ අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය මතයි. මේ සඳහා මම කෘෂිකර්ම අමාත්‍යවරයා වශයෙන් අමාත්‍ය මණ්ඩල පත්‍රිකාවක් ඉදිරිපත් කරනවා.

නිසා බොරුවට කලබල වීමේ අවශ්‍යතාවක් නැහැ. නමුත් වගා හානි සම්බන්ධව රිලවුන්ගෙන් එල්ල වන තර්ජනයත් සුළුපටු නැහැ. 2022 වසරේ පළමු මාස හය තුළ මේ රටේ පොල් ගෙඩි මිලියන 93ක් රිලවුන් හා දඬුලේනුන් විසින් විසින් විනාශ කර තිබෙනවා. 2022 වසර අවසන් වන විට එම ප්‍රමාණය පොල් ගෙඩි මිලියන 200 ඉක්මවා තිබෙනවා.

රිලවුන් නිසා වගාවන්ට සිදු වන හානි ගැන ගොවි ජනතාව වෙතින් අසා දැන ගත හැකියි. ඒ නිසා මෙම ගැටලුව කාලයක් තිස්සේ පවතින කිසිදු විසඳුමක් නැතිව පවතින ප්‍රශ්නයක්. රිලවු චීනෙට ලබා දීමට විරුද්ධව අදහස් දක්වන අය ඒ සඳහා විකල්ප විසඳුම් ඉදිරිපත් කරන්නෙත් නැහැ.” යනුවෙන් කෘෂිකර්ම අමාත්‍යවරයා පැවසීය.