අලුත් අවුරුදු උදාව පිළිගැනීමට රටම සැරසෙයි

අලුත් අවුරුදු උදාව පිළිගැනීමට රටම සැරසෙයි

සිංහල සහ දෙමළ අලුත් අවුරුද්ද උදාවට ඇත්තේ තවත් හෝරා කිහිපයක් පමණයි

ශ්‍රී ලාංකීය ජනතාව මේ වන විටත් (14) සිංහල සහ දෙමළ අලුත් අවුරුද්ද පිළිගැනීමට දැඩි උදයෝගයකින් පසුවනවා.

අලුත් අවුරුද්දේ උදාව සිදුවන්නේ අද අපරභාග 2.59 ටයි. අද පූර්ව භාග 8.35 සිට අපරභාග 9.23 දක්වා පුණ්‍ය කාලය යෙදී ඇති අතර, එම කාලය තුළ ආහාර පාන ගෙන සියලු වැඩ අතහැර ආගමික වතාවත්වල යෙදීම සුදුසු බවයි නැකැත් චාරිත්‍රවල දැක්වෙන්නේ. ආහාර පිසීමේ නැකත උදා වන්නේ අද අපරභාග 3.29 ටයි.

විචිත්‍ර වර්ණ වස්ත්‍රාභරණයෙන් සැරසී දකුණු දිශාව බලා ලිප් බැඳ ගිනි මොළවා දී කිරි මිශ්‍ර කිරි බතක් ද, තල සහ විලඳ මිශ්‍ර කැවිලි වර්ගයක් ද පිළියල කර ගැනීම යෝග්‍ය බවයි නැකැත් චාරිත්‍රවල දැක්වුණේ.

වැඩ ඇල්ලීම, ගණුදෙනු කිරීම සහ ආහාර අනුභවය අපරභාග 5.05 ට යෙදී තිබෙනවා.

විචිත්‍ර වර්ණ වස්ත්‍රාභරණයෙන් සැරසී දකුණු දිශාව බලා සියලු වැඩ අල්ලා, ගනුදෙනු කර ආහාර අනුභව කරන ලෙස අවුරුදු චාරිත්‍රවල සඳහන්.

හිසතෙල් ගෑමේ චාරිත්‍රය අප්‍රේල් 16 වන ඉරිදා පූර්ව භාග 9.41 ටද, රැකී රක්ෂා සඳහා පිටත්ව යෑම අප්‍රේල් 17 වන සඳුදා පූර්ව භාග 6.28 ට ද සිදුකළ යුතු බවයි නැකැත් චාරිත්‍රවල දැක්වෙන්නේ.

අලුත් අවුරුදු උදාව

අප්‍රේල් 14 සිකුරාද‌ අපරභාග 02.59ට සිංහල අලුත් අවුරුද්ද උදා වෙයි.

පුණ්‍ය කාලය

අප්‍රේල් 14 සිකුරාදා පූර්වභාග 8.35 සිට එදින අපරභාග 9.23 දක්වා පුණ්‍ය කාලය බැවින් අප්‍රේල් 14 සිකුරාදා පූර්ව භාග 8.35ට පළමුව ආහාර පාන ගෙන සියලු වැඩ අත්හැර ආගමික වතාවත්වල යෙදීම ද පුණ්‍ය කාලයේ අපර ක‌ොටස එනම් අප්‍රේල් 14 සිකුරාදා අපරභාග 2.59 සිට අපරභාග 9.23 දක්වා ආහාර පිසීම, ගනුදෙනු කිරීම හා අහාර අනුභවය ආදී නැකත් චාරිත්‍ර විධි ඉටු කිරීම මැනවි.

ආහාර පිසීම

අප්‍රේල් 14 සිකුරාදා අපරභාග 3.29ට විචිත්‍ර වර්ණ වස්ත්‍රාභරණයෙන් සැරසී දකුණු දිශාව බලා ලිප් බැඳ ගිනි මොලවා දී කිරි මිශ්‍ර කිරි බතක් තල සහ විලඳ මිශ්‍ර කැවිලි වර්ගයක් ද පිළියෙල කර ගැනීම මැනවි.

වැඩ ඇල්ලීම, ගනුදෙනු කිරීම හා ආහාර අනුභවය

අප්‍රේල් 14 සිකුරාදා අපරභාග 5.05ට විචිත්‍ර වර්ණ වස්ත්‍රාභරණයෙන් සැරසී දකුණු දිශාව බලා සියලු වැඩ අල්ලා ගනුදෙනු කොට ආහාර අනුභව කිරීම මැනවි.

හිස තෙල් ගෑම

අප්‍රේල් 16 ඉරිදා පූර්වභාග 9.41ට රතු සහ කහ මිශ්‍ර (තඹ පැහැති) වස්ත්‍රාභරණයෙන් සැරසී දකුණු දිශාව බලා හිසට ඉඹුල්පත් ද පයට නුගපත් ද තබා ඉඹුල්පත් යුෂ මිශ්‍ර නානු හා තෙල් ගා ස්නානය කිරීම මැනවි.

රැකී රක්ෂා සඳහා පිටත්ව යෑම

අප්‍රේල් 17 සඳුදා පූර්වභාග 6.28ට ශ්වේත වර්ණ හෙවත් සුදු පැහැති වස්ත්‍රාභරණයෙන් සැරසී දී කිරි මිශ්‍ර කිරිබතක් හා කැවිලි වර්ගයක් අනුභව කර දකුණු දිශාව බලා පිටත්ව යෑම මැනවි.

පැළ සිටුවීම

අප්‍රේල් 20 බ්‍රහස්පතින්දා පූර්වභාග 06.38ට රන්වන් පැහැති වස්ත්‍රාභරණයෙන් සැරසී නැගෙනහිර දිශාව බලා පැළ සිටුවීම මැනවි.

නව සඳ බැලීම
අභිනව සූර්ය වර්ෂය සඳහා අප්‍රේල් 23 ඉරිදා නව සඳ බැලීම මැනවි.