සිංහල හා හින්දු අලුත් අවුරුදු උදාවට තවත් පැය කිහිපයයි

සිංහල හා හින්දු අලුත් අවුරුදු උදාවට තවත් පැය කිහිපයයි

සිංහල හා හින්දු අලුත් අවුරුද්දේ සියලු නැකත් හෙට (14) දිනට යෙදී තිබේ.

ඒ අනුව අලුත් අවුරුද්දට පෙර දිනය වන අද (13) දිනයේ බොහෝ පිරිසක් තම අවශ්‍යතා සපුරාගැනීම සදහා ව්‍යාපාරික ස්ථාන වෙත පැමිණ තිබුණා.

මීට අමතරව කොළඹ සහ තදාසන්න ප්‍රදේශවල රාජකාරී කටයුතු සිදුකරන පිරිස් තම ගම්බිම් බලා යාම සඳහා ඊයේ රාත්‍රියේ මෙන්ම අදත් කොළඹ මධ්‍යම බස් නැවතුම්පලට සහ බැස්ටියන් මාවත පෞද්ගලික බස් පර්යන්තයට පැමිණෙමින් සිටී.

කොළඹ කොටුව දුම්රිය ස්ථානයට ද මගී ජනතාව අද අලුයම පැමිණ සිටි අතර ප්‍රවාහන අමාත්‍යාංශය සදහන් කළේ සියලු ජනතාවට කිසිදු ගැටලුවකින් තොරව ගම්බිම් බලා යාම සඳහා ප්‍රවාහන පහසුකම් සලසා ඇති බවය.

මේ අතර ඇතැම් පුද්ගලයින් අද දිනය තුළත් කැවිලි වර්ග සහ නිවාස සඳහා අවශ්‍ය අනෙකුත් භාණ්ඩ ලබාගැනීම සඳහා ව්‍යාපාරික ස්ථාන වෙත ගමන් කරමින් සිටින අතර ඇතැම් ව්‍යාපාරිකයින් කළු කඩ මිලක් නිර්මාණය කර ඇති බවට ද පාරිභෝගිකයින් චෝදනා කර සිටී.

ඒ අනුව පසුගිය දින කිහිපයේ දී මෙන්ම පාරිභෝගික අධිකාරීයේ නිලධාරීන් අද දිනයේදීත් වැඩි මිලට භාණ්ඩ අලෙවිකරන ව්‍යාපාරිකයින් සොයා වැටලීම් සිදුකරනු ඇති.

අලුත් අවුරුදු උදාව

අප්‍රේල් 14 සිකුරාද‌ අපරභාග 02.59ට සිංහල අලුත් අවුරුද්ද උදා වෙයි.

පුණ්‍ය කාලය

අප්‍රේල් 14 සිකුරාදා පූර්වභාග 8.35 සිට එදින අපරභාග 9.23 දක්වා පුණ්‍ය කාලය බැවින් අප්‍රේල් 14 සිකුරාදා පූර්ව භාග 8.35ට පළමුව ආහාර පාන ගෙන සියලු වැඩ අත්හැර ආගමික වතාවත්වල යෙදීම ද පුණ්‍ය කාලයේ අපර ක‌ොටස එනම් අප්‍රේල් 14 සිකුරාදා අපරභාග 2.59 සිට අපරභාග 9.23 දක්වා ආහාර පිසීම, ගනුදෙනු කිරීම හා අහාර අනුභවය ආදී නැකත් චාරිත්‍ර විධි ඉටු කිරීම මැනවි.

ආහාර පිසීම

අප්‍රේල් 14 සිකුරාදා අපරභාග 3.29ට විචිත්‍ර වර්ණ වස්ත්‍රාභරණයෙන් සැරසී දකුණු දිශාව බලා ලිප් බැඳ ගිනි මොලවා දී කිරි මිශ්‍ර කිරි බතක් තල සහ විලඳ මිශ්‍ර කැවිලි වර්ගයක් ද පිළියෙල කර ගැනීම මැනවි.

වැඩ ඇල්ලීම, ගනුදෙනු කිරීම හා ආහාර අනුභවය

අප්‍රේල් 14 සිකුරාදා අපරභාග 5.05ට විචිත්‍ර වර්ණ වස්ත්‍රාභරණයෙන් සැරසී දකුණු දිශාව බලා සියලු වැඩ අල්ලා ගනුදෙනු කොට ආහාර අනුභව කිරීම මැනවි.

හිස තෙල් ගෑම

අප්‍රේල් 16 ඉරිදා පූර්වභාග 9.41ට රතු සහ කහ මිශ්‍ර (තඹ පැහැති) වස්ත්‍රාභරණයෙන් සැරසී දකුණු දිශාව බලා හිසට ඉඹුල්පත් ද පයට නුගපත් ද තබා ඉඹුල්පත් යුෂ මිශ්‍ර නානු හා තෙල් ගා ස්නානය කිරීම මැනවි.

රැකී රක්ෂා සඳහා පිටත්ව යෑම

අප්‍රේල් 17 සඳුදා පූර්වභාග 6.28ට ශ්වේත වර්ණ හෙවත් සුදු පැහැති වස්ත්‍රාභරණයෙන් සැරසී දී කිරි මිශ්‍ර කිරිබතක් හා කැවිලි වර්ගයක් අනුභව කර දකුණු දිශාව බලා පිටත්ව යෑම මැනවි.

පැළ සිටුවීම

අප්‍රේල් 20 බ්‍රහස්පතින්දා පූර්වභාග 06.38ට රන්වන් පැහැති වස්ත්‍රාභරණයෙන් සැරසී නැගෙනහිර දිශාව බලා පැළ සිටුවීම මැනවි.

නව සඳ බැලීම
අභිනව සූර්ය වර්ෂය සඳහා අප්‍රේල් 23 ඉරිදා නව සඳ බැලීම මැනවි.

මීට අමතරව අද දිනයේ සිට බන්ධනාගාරගතව සිටින සිරකරුවන් හට අමුත්තන් බැලීම සඳහා විශේෂ අවස්ථාවක් ලබාදීමට බන්ධනාගාර දෙපාර්තමේන්තුව තීරණය කර තිබේ.

බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශක අතිරේක බන්ධනාගාර කොමසාරිස් ජනරාල් චන්දන ඒකනායක මහතා සදහන් කළේ අද, හෙට සහ අනිද්දා යන තෙදින තුළ එම අවස්ථාව හිමිවන බවය.