මැයි 9 ගැන නාමල් කියූ දේ

මැයි 9 ගැන නාමල් කියූ දේ

නිර්පාක්ෂික යැයි කියා ගනිමින් සියදහස් ගණන් පිරිස ගාලු මුවදොර අරගල කළද, අවසානයේ නිර්පාක්ෂික වුණේ ගෝඨාභය රාජපක්ෂ මහතා පමණක් යැයි හම්බන්තොට දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා ප්‍රකාශ කරනවා.

ඔහු මේ බව ප්‍රකාශකලේ කොටිකාවත්ත ප්‍රදේශයේ දී පෙරේදා (08) පැවති ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ කොලොන්නාව ආසන බලමණ්ඩල හමුව අමතමින්.

ශ්‍රී ලංකාවේ ආර්ථික වර්ධනය වේගය චීනයට පමණක් දෙවැනි වන තැනකට මහින්ද රාජපක්ෂ රැගෙන ආ බවත්, දැන් වන විට නව පක්ෂ සාදගෙන ව්‍යාපෘති ගෙන ඒමට සැලසුම් කරන ජාතික ජන බලවේගයේ අනුර කුමාර දිසානායක වැනි පිරිස් ඒ දිනවල දී කොළඹ වරාය නගරය ඉදිකරන්න සීගිරි ගල කඩා ගෙනෙන්නට වෙයි කියූ බවත් ඔහු පවසනවා.

එමෙන්ම ජනතාව මැයි 9වන දා අරලියගහ මන්දිරයට පැමිණියේ මහින්ද රාජපක්ෂ බැලීමට පමණක් වන බවත් අරගලකරුවන්ට පහර දීමට නොවන බවත් ඔහු පවසනවා.

තවද ඔහු පවසන්නේ ඔවුන් විශ්වාස කරන දේශපාලනය තුළ ප්‍රචණ්ඩත්වය අගය නොකරන බවත්, ඔවුන් ප්‍රචණ්ඩත්වයට කැමැත්තක් නොමැති බව සහ මහින්ද රාජපක්ෂ විසින් දේශපාලනයේ තිබුණු ප්‍රචණ්ඩත්වය ඉවත්කළ බව ද ඔහු වැඩිදුරටත් සඳහන් කරනවා.

මෙම අවස්ථාව සඳහා වනජීවී හා වන සංරක්ෂණ ඇමතිනි පවිත්‍රාදේවි වන්නිආරච්චි, හිටපු අමාත්‍ය සරත් වීරසේකර, ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මහලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී නීතිඥ සාගර කාරියවසම්, පාර්ලිමේන්තු මන්ත්‍රී නීතිඥ මධුර විතානගේ ඇතුලු පිරිසක් සහභාගී වුනා.

COMMENTS