ගිය අවුරුද්දට වඩා මේ අවුරුද්ද ශුභයි

ගිය අවුරුද්දට වඩා මේ අවුරුද්ද ශුභයි

පසුගිය වසරට වඩා මෙවර අලුත් අවුරුද්ද ශුභ බව ත් ලබන වසරේ මෙය තව ත් ශුභ කර ගැනීම සඳහා සමස්ත ලාංකේය ජනතාව වෙත විශාල වගකීමක් පැවරී තිබෙන බව ත් ප්‍රවාහන හා ජනමාධ්‍ය අමාත්‍යය ආචාර්ය බන්දුල ගුණවර්ධන පවසයි.

ඉන්දීය ණය ආධාර යටතේ මෙරටට හිමිවූ නව බස් රථ 26ක් ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ මහනුවර දිස්ත්‍රික්කයේ ඩිපෝවලට ලබා දීමේ උත්සවයට එක්වෙමින් අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේ ය.

රට යම් ස්ථාවර මට්ටමකට කෙටි කාලයකදී පැමිණීමට ප්‍රධාන හේතුව ජනපති ප්‍රමුඛ රජය ජනප්‍රිය දේශපාලන තීන්දුවලට නොයා තරමක් වේදනාකාරී පියවර නිර්භීතව ගැනීම බව බන්දුල ගුණවර්ධන සඳහන් කළේ ය.

අයවැය පරතරය අඩු වන අතර විදේශ විනිමය ප්‍රමාණය ඉහළ ගොස් සංචිත ප්‍රමාණය වැඩි වුවහොත් එහි වාසිය ලැබෙන්නේ ජනතාවට බව ත් ලබන වසරේ විදේශ ණය ගෙවීම සම්බන්ධ ගැටලුව තිබෙන බව ත් කී ඒ මහතා රාජ්‍ය මූල්‍ය අර්බුදය සම්පූර්ණයෙන් විසඳී නොමැති බව තේරුම් ගත යුතුව ඇතැයි ද අවධාරණය කර සිටියේ ය.

රට ආර්ථික අතින් ශක්තිමත් නොමැති අවස්ථාවල පවා සහන ලබා දීමට යාම අර්බුද රැසකට හේතුව බව ත් ජත්‍යන්තරය තුළ රටක් ලෙස කොන්වී නැත්තට ම නැති තත්ත්වයකට පත්වීමට ගිය අවස්ථාවේ ඉන් මුදා ගැනීම ජත්‍යන්තර මූල්‍ය අරමුදලේ ගිවිසුම ඔස්සේ සිද්ධ වුණු බව ත් ඇමතිවරයා පැවසුවේ ය.

ඩොලරයට ගෙවන රුපියල් ප්‍රමාණය අඩු වීම තුළ විදේශ රටවලින් භාණ්ඩ ආනයනයේදී විශාල සහනයක් ලැබෙන බව ද එහි වාසය ජනතාවට ලබා දීමට රජය පියවර ගෙන තිබෙන බව ද ගුණවර්ධන මහතා පැවසීය.

COMMENTS