රජය මත නොයැපෙන ආයතනයක් බවට ලංගම පත් කිරීමේ සැලසුමක්

රජය මත නොයැපෙන ආයතනයක් බවට ලංගම පත් කිරීමේ සැලසුමක්

75වන නිදහස් සමරුවට සමගාමීව මෙරට ග්‍රාමීය මාර්ග වල පොදු ප්‍රවාහනය ශක්තිමත් කිරීම උදෙසා ඉන්දියානු ණය යෝජනා ක්‍රමය යටතේ මහනුවර, නුවරඑළිය හා බදුල්ල දිස්ත්‍රික්කයේ ඩිපෝ වෙත නව බස් රථ භාරදීම ප්‍රවාහන, මහාමාර්ග හා ජනමාධ්‍ය අමාත්‍ය බන්දුල ගුණවර්ධනගේ ප්‍රධානත්වයෙන් අද (09) සිදු කෙරුණා.

මහනුවර දිස්ත්‍රික්කයේ ඩිපෝ 07ක් වෙත නව බස් රථ 26ක්, නුවරඑළිය ප්‍රාදේශීය බල ප්‍රදේශයට අයත් ඩිපෝ 07ක් සඳහා බස් රථ 26ක් මෙන්ම ඌව ප්‍රදේශයේ ඩිපෝ 9 ක් වෙත බස්රථ 28ක් ද මෙම අවස්ථාවේ දී අමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් බෙදා දෙනු ලැබුවා.

එහි දී අදහස් දැක්වූ අමාත්‍යවරයා පැවසුවේ දේශපාලන පක්ෂ පාට ආදී බලපෑම් වලින් තොරව අවශ්‍ය තනතුරුවලට සුදුසු වෘත්තිකයින් පත් කිරීම තමන්ගේ බලාපොරොත්තුව බවත්, ඒ අනුව රජය මත නොයැපෙන ආයතනයක් බවට ලංගම පත් කිරීමේ සැලසුම් රැසක් මේ වන විට ක්‍රියාවට නංවා තිබෙන බවයි.

එමෙන්ම 2025 වසර වන විට ස්වයං යැපුම් මට්ටමක් දක්වා ලංකා ගමනාගමන මණ්ඩලය පත්කිරිමේ තමාගේ ඉලක්කයට සැමදෙනාම දායක විය යුතු බවත් ඔහු එහිදී සඳහන් කලා.