විශ්ව විද්‍යාල ආචාර්යවරු සහනයක් ඉල්ලයි

විශ්ව විද්‍යාල ආචාර්යවරු සහනයක් ඉල්ලයි

නව බදු ප්‍රතිපත්තියට එරෙහිව වෘත්තිකයන්ගේ වෘත්තීය සමිති එකමුතුව නියෝජනය කරන විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ සමිති සම්මේලනය අධ්‍යයන කටයුතුවලින් ඉවත්ව ආරම්භ කර ඇති වෘත්තීය ක්‍රියාමාර්ගයට අදට දින 29ක් සපිරෙනවා.

එසේම, ඔවුන් උසස් පෙළ උත්තර පත්‍ර ඇගයීම් කටයුතුවලින්ද ඉවත්වයි වෘත්තීය ක්‍රියාමාර්ගයේ නිරත වන්නේ.

එවන් පසුබිමක ඊයේ (06) දිනයේ දී විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ සමිති සම්මේලනයේ සභාපති මහාචාර්ය ශ්‍යාම බන්නැහැක රජයෙන් ඉල්ලා සිටියේ උපයන විට ගෙවීමේ බද්ද හරහා ලැබූ ආදායම, රජයේ අපේක්ෂිත ආදායම ඉක්මවා යන්නේ නම් වෘත්තිකයන්ට තාවකාලික සහනයක් හෝ ලබාදෙන ලෙසයි.

එසේම, ලංකා ගුරු සංගමයේ ප්‍රධාන ලේකම් ජෝශප් ස්ටාලින් ද ඊයේ (06) කොළඹ දී කැඳවා තිබූ මාධ්‍ය හමුවකදී කියා සිටියේ උසස් පෙළ උත්තර පත්‍ර පරීක්ෂාව සඳහා විශ්වවිද්‍යාල ආචාර්යවරුන් අනිවාර්යයෙන්ම සිටිය යුතු බවයි.