මෙරට පළමු කුළුබඩු වෙබ් අඩවිය එළි දක්වයි

මෙරට  පළමු කුළුබඩු වෙබ් අඩවිය එළි දක්වයි

ශ්‍රී ලංකාවේ පළමු කුළුබඩු ආශ්‍රිත නිල වෙබ් අඩවිය ලෙස www.spicelk.com වෙබ් අඩවිය කර්මාන්ත හා වැවිලි කර්මාන්ත අමාත්‍ය වෛද්‍ය රමේෂ් පතිරණ මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (3 ) එළිදක්වා තිබෙනවා.

වැවිලි කර්මාන්ත අමාත්‍යාංශය යටතේ ක්‍රියාත්මක වන කුළුබඩු හා ඒ ආශ්‍රිත නිෂ්පාදන අළෙවි මණ්ඩලය විසින්, ශ්‍රී ලංකාවේ සුළු හා මධ්‍ය පරිමාණ කුළුබඩු නිෂ්පාදකයන්ගේ ගුණාත්මක නිෂ්පාදන දේශීය මෙන්ම විදේශීය වෙළඳපළ වෙත ගෙනයාමේ අරමුණ ඇතිවයි මෙම වෙබ් අඩවිය නිර්මාණය කර ඇත්තේ.

මෙහිදී අදහස් දක්වමින් රමේෂ් පතිරණ අමාත්‍යවරයා,

“කුළුබඩු හා ඒ ආශ්‍රිත නිෂ්පාදන අළෙවි මණ්ඩලය ආරම්භකර වසර 1 ½ ක් වැනි කෙටි කාලයක් තුල දේශීය සුළු
හා මධ්‍ය පරිමාණ නිෂ්පාදකයන්ගේ කුළුබඩු විදේශ වෙළඳපලට යැවීමේ මූලික පියවර තබමින් මෙම වෙබ්
අඩවිය ආරම්භ කිරීම පිළිබඳව ඉතාමත් සතුටට පත්වෙනවා.

වර්තමනයේ සමහර රාජ්‍ය ආයතන පාඩු ලබමින් වසා දමන තත්වයක පවතින අවස්ථාවක රාජ්‍ය ආයතනයක් ලෙස සුළු හා මධ්‍ය පරිමාණ නිෂ්පාදකයන්ටද අවස්ථාව සලසමින් ආදායම් ඉපයීමට කටයුතු කිරීම අගය කරනවා.

චීනය වැනි රටවල විශාල කුළුබඩු වෙළඳපලක් තිබෙනවා. අප එවැනි වෙළඳපළවල් වෙත පිවිසීමේ හැකියාවන් පිළිබඳව අවදානය යොමු කළ යුතුයි. එවැනි වෙළඳපළවල් වෙත පිවිසීම දේශිය සුළු හා මධ්‍ය පරිමාණ කුළුබඩු නිෂ්පාදකයන්ටද මෙන්ම වගාකරුවන්ට වැදගත් වෙනවා.”

ශ්‍රී ලංකාවේ දේශීය කුළුබඩු පිළිබඳ තොරතුරු මෙන්ම කුළුබඩු හා ඒ ආශ්‍රිත නිෂ්පාදන අළෙවි මණ්ඩලය මගින් ක්‍රියාත්මක කරනු ලබන අළෙවිසැල් 24 පිළිබඳ තොරතුරුද මෙම වෙබ් අඩවිය තුළ අන්තර්ගත වනවා.

මාර්ගගත ක්‍රමය හරහා (Online) ශ්‍රී ලංකාවේ ඕනෑම ස්ථානයකට කුළුබඩු නිෂ්පාදන ගෙන්වා ගැනීමේ හැකියාවද මෙමඟින් ලැබෙන අතර ශ්‍රී ලංකා තැපැල් දෙපාර්තමේන්තුව විසින් ඉතා ඉක්මනින් එම කුළුබඩු නිෂ්පාදන පාරිභෝගිකයින්ගේ අතටම ලබා දෙනවා

ඉදිරියේදී විදේශගත ගැණුම්කරුවන්ටද මෙම මාර්ගගත ක්‍රමය ඔස්සේ කුළුබඩු නිෂ්පාදන මිලදී ගැනීමට අවස්ථාව ලබාදීමට කුළුබඩු හා ඒ ආශ්‍රිත නිෂ්පාදන අළෙවි මණ්ඩලය සැලසුම් කර තිබෙනවා.