වැඩිම ලකුණු සංඛ්‍යාව හඹා යමින් දකුණු අප්‍රිකාව T20 ලෝක වාර්තාවක් තබයි

වැඩිම ලකුණු සංඛ්‍යාව හඹා යමින් දකුණු අප්‍රිකාව T20 ලෝක වාර්තාවක් තබයි

විස්සයි විස්ස ජාත්‍යන්තර ක්‍රිකට් තරඟයකදී වැඩිම ලකුණු සංඛ්‍යාව හඹා යමින් ලෝක වාර්තාවක් පිහිටුවීමට දකුණු අප්‍රිකාව ඊයේ සමත්වුණා.

ඒ, බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම පරාජයට පත් කරමින්.

තරගයේ පළමුව පන්දුවට පහරදුන් කොදෙව් කණ්ඩායම නියමිත පන්දු වාර විස්ස අවසානයේදී කඩුලු පහක් දැවී ලකුණු 258 ක් රැස් කළා.

පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ දකුණු අප්‍රිකානු කණ්ඩායම පන්දු වාර 18 යි පන්දු 5 ක් තුළදී ජයග්‍රාහී සීමාව පසුකර ගියේ කඩුලු හතරක් පමණක් දැවී තිබියදියි.

දකුණු අප්‍රිකානු ආරම්භක පිතිකරු ක්විටන් ඩි කොක් මෙම තරගයේදී සිය මංගල පන්දු වාර විස්ස ශතකය වාර්තා කළා.

මෙම තරගයේදී දෙපිළම ලකුණු 517 ක් රැස් කළ අතර, එය පන්දු වාර විස්ස ඉතිහාසයේ එක් තරගයකදී වාර්තාවූ ඉහළම ලකුණු සංඛ්‍යාව ලෙස වාර්තා අතරට එක්වනවා.

එමෙන්ම එම ලකුණු සංඛ්‍යාව පන්දු වාර විස්ස තරගයකදී ලකුණු 500 ට වඩා රැස් කළ පළමු අවස්ථාව ලෙසයි ඉතිහාසයට එක්වන්නේ.

පන්දු වාර විස්ස තරගාවලි ඉතිහාසයේ කණ්ඩායමක් වේගවත්ම ලකුණු 200 සීමාව පසුකර යෑමද ඊයේ වාර්තා වුණා.

ඒ දකුණු අප්‍රිකානු කණ්ඩායම පන්දු වාර 13 යි පන්දු 5 කදී ලකුණු 200 ක් රැස් කරගනිමින්.

පවර් ප්ලේ අවස්ථාවේදී කණ්ඩායමක් ලකුණු 100 ක් රැස් කළ පළමු අවස්ථාව මෙය වන අතර, එහිදී දකුණු අප්‍රිකාව පන්දු වාර 6 කදී කිසිදු කඩුල්ලක් නොදැවී ලකුණු 102 ක් රැස් කළා.