නිර්වින්දන විශේෂඥ වෛද්‍යවරියකට ජීවිතය දී සදහටම දෑස් පියාගත් විහඟනා

නිර්වින්දන විශේෂඥ වෛද්‍යවරියකට ජීවිතය දී සදහටම දෑස් පියාගත් විහඟනා

හදවත සහ පෙණහලු යන ශරීර අවයව දෙකම රෝගියකු සඳහා එකවර බද්ධ කිරීමට ශ්‍රී ලංකාවේ දී කරන ලද ප්‍රථම සැත්කම කොළඹ ජාතික රෝහලේ විශේෂඥ වෛද්‍ය කණ්ඩායමක් විසින් පසුගිය දා සිදු කළහ.

මොළය මිය යාම හේතුවෙන් මරණයට පත්වූ කුරුණෑගල මලියදේව බාලිකා විදුහලේ උසස් පෙළ අධ්‍යාපනය ලැබූ 19 හැවිරිදි විහඟනා ආරියසිංහ සිසුවියගෙන් ලබා ගත් හදවත සහ පෙණහලු මෙසේ වෙනත් රෝගියකුට බද්ධ කෙරුණු අතර, මේ අවයව දෙකම බද්ධ කරනු ලැබුවේ හෘදය සහ පෙණහලු අකර්මණ්‍ය වීමෙන් අසාධ්‍ය තත්ත්වයක පසුවූ නිර්වින්දන විශේෂඥ වෛද්‍යවරියකට වීමද විශේෂත්වයකි. මීට පෙර සිදු කර තිබුණේ එම අවයව වෙන වෙනම බද්ධ කිරීම වුවද එකවර එවැනි අවයව බද්ධ කිරීමේ සැත්කමක් මෙරටේ දී සිදු කළ ප්‍රථම අවස්ථාව මෙය වීමද විශේෂත්වයකි.

මීට අමතරව ඇයගෙන් ලබා ගත් වකුගඩු දෙකද අසාධ්‍ය රෝගීන් දෙදෙනෙකුට සාර්ථකව බද්ධ කර තිබූ අතර, ඉන් එක් වකුගඩුවක් කුරුණෑගල ශික්ෂණ රෝහලේ වකුගඩු ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටි රෝගියෙකුට සාර්ථකව බද්ධ කළ බව කුරුණෑගල ශික්ෂණ රෝහලේ අධ්‍යක්ෂ වෛද්‍ය චන්දන කැඳන්ගමුව මහතා ප්‍රකාශ කළේය. එමෙන්ම ඇයගෙන් ලබා ගත් අක්මාව සහ අක්ෂි පටලද තවත් පුද්ගලයන් තිදෙනෙකුට නීරෝගි ජීවිතයක් ලබා දී ඇත. මේ අනුව විහඟනාගේ සිරුරෙන් ලබා ගන්නා ලද අවයව කොටස් 5කින් පුද්ගලයන් හත් දෙනෙකුටම නැවත ජීවය ලැබී තිබීමද විශේෂත්වයකි.

විහඟනා සිසුවිය අඹන්පොළ නගරයේම පදිංචි දරුවන් තිදෙනකුගෙන් යුත් පවුලක බාලම දරුවා වූවාය. ඇයට වැඩිමල් එක් සොයුරියක් සහ සොයුරෙකු සිටින අතර සොයුරියද මලියදේව බාලිකාවෙන් උසස් පෙළ සමත්ව වයඹ විශ්වවිද්‍යාලයේ ඉගෙනුම ලබමින් සිටියි . විහඟනා සාමාන්‍ය පෙළ විභාගය ඉහළින් සමත්ව උසස් පෙළ වාණිජ විෂය ධාරාව ඉංග්‍රීසි මාධ්‍යයෙන් හැදෑරීම සඳහා කුරුණෑගල මලියදේව බාලිකා විදුහලට ඇතුළත්ව ඇත.

පසුගියදා අවසන් වූ උසස් පෙළ විභාගයටද ඇය සාර්ථකව පෙනී සිට ඇත. ඉන් පසුව හදිසියේ ඇතිවූ හිසේ අමාරුවක් හා වමනයක් හේතුවෙන් ඇය ප්‍රතිකාර සඳහා පසුගිය දා (17) ගල්ගමුව දිසා රෝහලට ඇතුළත් කර ඇත. එහි දී ඇගේ රෝගී තත්ත්වය බරපතළ වීම හේතුවෙන් එදිනම රාත්‍රියේ වැඩිදුර ප්‍රතිකාර සඳහා කුරුණෑගල ශික්ෂණ රෝහලට ඇතුළත් කර තිබේ. කුරුණෑගල ශික්ෂණ රෝහලට ඇතුළත් කරන විටද අසාධ්‍ය තත්ත්වයෙන් පසුවූ විහඟනා රෝහලේ දැඩි සත්කාර ඒකකයට ඇතුළත් කර ප්‍රතිකාර ලබා දුන්නද එහි දී සිහිය නොලබාම ඇය මරණයට පත්ව ඇත.

මොළයේ හටගෙන තිබූ පිළිකාවක් නිසා මොළය මිය යාම හේතුවෙන් ඇය මරණයට පත්ව තිබූ බව වෛද්‍ය පරීක්ෂණවලින් අනාවරණය වී තිබේ. බාහිර රෝග ලක්ෂණ කිසිවක් නොපෙන්වාම හටගෙන තිබූ පිළිකාව මොළය තුළ ඔඩු දුවා තිබීමෙන් ඇයගේ මරණය සිදුව ඇති බව කියයි. පසුව පවුලේ සාමාජිකයන්ගේ කැමැත්තට අනුව විහඟනාගේ සිරුරේ අවයව අසාධ්‍ය රෝගීන්ට දන් දීමට පියවර ගෙන තිබුණි. නමුත් ඒ වන විටද විහඟනා වයඹ විශ්වවිද්‍යාලයේ අධ්‍යාපනය ලබන තම සොයුරියද සමඟ එක්ව මරණින් පසුව සිරුරු කොටස් දන්දීම සඳහා ගිවිසුම්ගතව සිටි බව ද කියයි.

කෙසේ නමුත් විහඟනා ඇගේ ජීවිතයට සමුදුන්නේ තවත් කිහිපදෙනෙකුට නිරෝගීව දිගු කලක් ජීවිත්වීමේ අපේක්ෂාව ඉතුරු කරමිනි.