පාඨලී ට සහ මහින්දානන්ද ට අලුත් තනතුරු

පාඨලී ට සහ මහින්දානන්ද ට අලුත් තනතුරු

පාර්ලිමේන්තුවේ රාජ්‍ය මූල්‍ය ක්‍රමෝපාය (ක්‍රම සහ විධි) පිළිබඳ ස්ථාවර කමිටුවේ සභාපති ධූරය සඳහා පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක අද (23) නිතරගයෙන් තේරී පත් විය.

එම පාර්ලිමේන්තු කමිටුවට හිමි වන බලතල මෙසේ ය.

  1. දේශීය ආදායම් දෙපාර්තමේන්තුව, රේගු දෙපාර්තමේන්තුව, සුරාබදු දෙපාර්තමේන්තුව ඇතුළු සියලු ආදායම් ආයතන අධීක්ෂණය කිරීම,
  2. බදු සහ තීරු බදු විමර්ශනය කොට නව අදහස් වාර්තා කිරීම සහ ප්‍රගති සමාලෝචනය,
  3. විදේශ වෙළෙඳ ගිවිසුම් සහ ඊට අදාළ කරුණු අධීක්ෂණය කිරීම,
  4. සමාජ ශුභසාධනය සම්බන්ධ රාජ්‍ය වියදම් ක්‍රියාදාමය අධීක්ෂණය කිරීම,
  5. ආපදා කළමනාකරණ ක්‍රියාවලිය සම්බන්ධ ක්‍රියාදාමය අධීක්ෂණය කිරීම ඇතුළු මුදල් අමාත්‍යාංශ විෂය පථයෙන් වැඩි කොටසක් සමාලෝචනය සහ අධීක්ෂණය කිරීමේ බලතල.

මේ අතර ජාතික ආර්ථික හා භෞතික සැලසුම් පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාවේ සභාපතිවරයා ලෙස පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්දානන්ද අලුත්ගමගේ පත්කර තිබෙනවා.

එම කමිටුවේ පළමු රැස්වීම ඊයේ (22) පාර්ලිමේන්තුවේ දී පැවැත්වුණා.

එහි දී අදාල තනතුර සඳහා මහින්දානන්ද අලුත්ගමගේ මන්ත්‍රීවරයාව, මන්ත්‍රී ගුණතිලක රාජපක්ෂ විසින් යෝජනා කළ අතර පාර්ලිමේන්තු මන්ත්‍රී ධම්මික පෙරේරා එය ස්ථිර කර තිබෙනවා.

රජය ක්‍රියාත්මක කරන ආර්ථික ප්‍රතිපත්ති සහ රටේ භෞතික සැලසුම් පිළිබඳ අධීක්‍ෂණය සම්බන්ධයෙන් මෙම කමිටුව කටයුතු කරන බැවින් එය පක්ෂ භේදයකින් තොරව ක්‍රියාත්මක කිරීමට බලාපොරොත්තු වන බව නව සභාපති මහින්දානන්ද අලුත්ගමගේ පැවසුවේ.