ලිස්ටීරියෝසිස් වසංගතයක් රට තුළ නැහැ – සෞඛ්‍ය අංශ

ලිස්ටීරියෝසිස් වසංගතයක් රට තුළ නැහැ – සෞඛ්‍ය අංශ

ලිස්ටීරියෝසිස් වසංගත තත්ත්වයක් රට තුළ නොමැති බවත්, ඒ පිළිබඳව අනිසි බියක් ඇති කරගැනීම අනවශ්‍ය බව වසංගත රෝග විද්‍යා අංශය පවසනවා.

ශ්‍රී පාදයට ගමන් ගන්නා එරත්න මාර්ගයේ වෙළඳසැළක සේවය කළ කාන්තාවක් මෙම රෝගයේ සංකූලතා නිසා මරණයට පත්වීම සම්බන්ධයෙන් නිවේදනයක් නිකුත් කරමිනුයි ඔවුන් මේ බව කියා සිටියේ.

එසේම ශ්‍රී පාදය වන්දනා කළ තවත් දෙදෙනෙකු මිය යාමත් සමඟ මෙම රෝගය පිළිබඳව කතාබහක් ඇති වූ නමුත්, ඔවුන්ගේ මරණවලට හේතුව ද ලිස්ටීරියා රෝග තත්ත්වය බවට මෙතෙක් තහවුරු වී නැහැ.

ලිස්ටිරීයා මොනොසියිටෝජෙනසිස් බැක්ටීරියාව නිසිලෙස සකස් නොකරන ලද මාංශ, නැවුම් කිරි, පැස්ටරිකරණය නොකළ කිරි මගින් නිපදවන ලද අයිස් ක්‍රීම්, යෝගට් වැනි නිෂ්පාදන අනුභව කිරීමෙන් වැළදෙනවා.

මෙහි අවධානම් කණ්ඩායම් වන්නේ ගර්භණී කාන්තාවන්, අවුරුදු 65ට වැඩි පුද්ගලයින් සහ ප්‍රතිශක්තීකරණය අඩු පුද්ගලයින්.

කෙසේ වෙතත් තවදුරටත් මෙම සිදුවීම පිළිබඳ විමර්ශන සිදු කරන අතර ක්ෂේත්‍ර මට්ටමින් ආහාර සාම්පල හා ජල මූලාශ්‍ර ලබාගෙන ඇති බවයි වසංගත රෝග විද්‍යා අංශය නිකුත් කළ නිවේදනයේ වැඩිදුරටත් දැක්වෙන්නේ.