වෛද්‍ය වර්ජනයෙන් රෝහල් කටයුතු ඇනහිටීයි

වෛද්‍ය වර්ජනයෙන් රෝහල් කටයුතු ඇනහිටීයි

රජය විසින් පනවා ඇති නව බදු වලට විරෝධය පළ කරමින් රජයේ රෝහල්වල වෛද්‍යවරුන් අද උදෑසන 8 සිට ආරම්භ කර ඇති වර්ජනය හේතුවෙන් සායනික සහ බාහිර රෝගී අංශවලට පැමිණි රෝගීන් දැඩි අපහසුතාවයට පත්ව සිටිනවා.

මේ වන විට බොහෝ රෝහල්වල බාහිර රෝගී අංශ සහ සායනික කටයුතු අඩාල වී ඇති බවයි වාර්තා වෙන්නේ.

මීට සමගාමීව විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ සමිති සම්මේලනයත් අද එක්දින සංඛේත වර්ජනයක නිරතවීමට තීරණය කර තිබේ.

විදුලිය, ජලසම්පාදන, ඛනිජ තෙල් සහ වරාය ඇතුළු වෘත්තීය සමිති රැසක් අද දහවල් කොළඹ කොටුවේදී ඒකාබද්ධ විරෝධතාවක නිරත වන්නේ ඒ අතර වාරයේයි.

වරාය වෘත්තීය සමිති අද පෙරවරුවේ සිට අකුරට වැඩ කිරීමේ වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයක නිරත වනු ඇත.

ලංකා විදුලි බල මණ්ඩල ඉංජිනේරු සංගමයේ සමලේකම් ඉසුරු කස්තුරිරත්න මහතා පැවසුවේ, තම සංගමයේ සියලු සාමාජිකයින් අද දිනයේ සේවාවලින් ඉවත් වන බවයි.

ඛනිජ තෙල් සංස්ථා සේවකයින් ද අද පැවැත්වෙන විරෝධතාවයට එක් වන බව ඛනිජ තෙල් පොදු සේවක සංගමයේ සභාපති අශෝක රංවල මහතා පැවසුවේ ය.

මේ අතර නිවේදනයක් නිකුත් කරමින් ශ්‍රී ලංකා ප්‍රාදේශීය ලේකම්වරුන්ගේ හා සහකාර ප්‍රාදේශීය ලේකම්වරුන්ගේ සංගමය පවසන්නේ, තම සාමාජිකයින් අද දිනයේ ලෙඩ නිවාඩු මත සේවායට වාර්තා නොකිරීමට තීරණය කර ඇති බවයි.

අසාධාරණ බදු පනතට විරෝධය පළ කිරීම මෙහි අරමුණ වේ.

ජල සම්පාදන සේවක සංගමය ද අද පැවැත්වෙන විරෝධතාවට එක්වෙන බව එහි සමලේකම් උපාලි රත්නායක මහතා සඳහන් කළේ ය.

මේ අතර ලංකා බැංකු සේවක සංගමයේ ප්‍රධාන ලේකම් රංජන් සේනානායක මහතා පැවසුවේ, අද දිනයේ බැංකු ගනුදෙනු පෙරවරු 12.30 ට අත්හිටුවීමට තම සාමාජිකයින් තීරණය කර ඇති බවයි.