කෝටිපති ව්‍යාපාරිකයාගේ ඝාතනයේ ප්‍රධාන සැකකරු සහ බිරිඳ අල්ලයි

කෝටිපති ව්‍යාපාරිකයාගේ ඝාතනයේ ප්‍රධාන සැකකරු සහ බිරිඳ අල්ලයි

පැලවත්ත නිවසක තිබියදී සොයාගත් නිමි ඇදුම් ව්‍යාපාරිකයාගේ මරණයට සම්බන්ධ ප්‍රධාන සැකකරු සහ බිරිඳ කඩවත ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා.

අත්අඩංගුවට ගත් සැකකරුගේ වයස අවුරුදු 27 ක් වන අතර බිරිඳ 21 වන වියේ පසුවනවා.

බත්තරමුල්ල, පැලවත්ත ප්‍රදේශයේ ඉදිකෙරෙමින් පවතින නිවසක පිහිනුම් තටාකයේ තිබී එහි හිමිකරු වන අදාළ නිමි ඇදුම් ව්‍යාපාරිකයාගේ මළ සිරුර සොයාගනු ලැබුවේ පසුගිය 02 වනදායි.

49 හැවිරිදි මෙම ව්‍යාපාරිකයා වැල්ලම්පිටිය ප්‍රදේශයේ පදිංචිකරුවෙක්.

අදාළ නිවසේ සී.සී.ටී.වී දර්ශන පරික්ෂා කිරීමේදී අදාළ ව්‍යාපාරිකයා තවත් පුද්ගලයෙකු සමඟ මෝටර් රථයෙන් පැමිණ නිවසට ඇතුළුවන ආකාරයත් එක් පුද්ගලයෙකු පමණක් නිවසෙන් පිටව යන ආකාරයත් නිරීක්ෂණය වී තිබුණා.

ඒ ඔස්සේ සිදුකළ විමර්ශනවලට අනුව ව්‍යාපාරිකයාට අයත් මෝටර් රථය පසුගිය 03 වනදා මීගමුව ප්‍රදේශයේ ගරාජයක් ඉදිරිපිට නවතා තිබියදී සොයාගෙන තිබුණා.

තරුණ යුවලක් ආපදා රථයකින් එම මෝටර් රථය රැගෙනවිත් ගරාජය ඉදිරිපිට මාර්ගයේ දමා යන අයුරු සී.සී.ටී.වී දර්ශනවල සටහන්වී තිබූ අතර වැඩිදුර විමර්ශනවලදී හෙළිවුණේ පැලවත්ත නිවසෙන් පිටවූ මෝටර් රථයේ සිටි පුද්ගලයා අතරමඟදී කාන්තාවක් ඊට නංවා ගෙන ඇති බවයි.

පසුව මෙම මෝටර් රථය කොළඹ – කටුනායක අධිවේගි මාර්ගයේ ජාඇල පිටවුමේදී කාර්මික දෝෂයකට ලක්ව තිබුණා.

සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් යුවල කොළොන්නාව ප්‍රදේශයේ පදිංචිකරුවන්.

COMMENTS