ජල විදුලි උත්පාදනයට ජලය ප්‍රමාණවත් තරම් නෑ – මහවැලි අධිකාරියෙන් දැනුම් දීමක්

ජල විදුලි උත්පාදනයට ජලය ප්‍රමාණවත් තරම් නෑ – මහවැලි අධිකාරියෙන් දැනුම් දීමක්

ජල විදුලි උත්පාදනය සඳහා නිකුත් කිරීමට ප්‍රමාණවත් තරම් ජලය ,ජලාශවල නොමැතිබව මහවැලි අධිකාරිය පවසනවා

එහි නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් ඉංජිනේරු ඩී.එම්.එන්.ජේ.ධනපාල මේ බව සඳහන් කර ඇත්තේ, විදුලිබල හා බලශක්ති අමාත්‍යාංශයේ ලේකම්වරයා වෙත අද (03) ලිපියක් යොමුකරමින්

පසුගිය මස 30 සහ 31 යන දෙදින තුළ විදුලිබල නිෂ්පාදනය සඳහා අමතර ජලය නිකුත් කිරීමට පියවර ගනු ලැබුවේ 31 වනදා සිට ඊයේ දිනය දක්වා සැළකිය යුතු වර්ෂාපතනයක් ලැබෙන බවට කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කළ අනාවැකියට අනුව බවයි එහි දැක්වෙන්නේ.

එහෙත් එම දිනවල සැලකිය යුතු වර්ෂාපතනයක් නොලැබීම නිසා අතිරික්ත ජලය නොමැති බැවින් මහ කන්නය, යළ කන්නය සඳහා අවශ්‍ය වාරි ජලය, පානීය ජලය, මෙන්ම ගොවිපලවලට අවශ්‍ය ජලයද සළකා සාමාන්‍ය පරිදි ජල විදුලි නිෂ්පාදනය සඳහා ජලය නිකුත් කිරීමට තීරණය කළ බවයි අදාළ ලිපියෙන් මහවැලි අධිකාරිය දැනුම්දී ඇත්තේ.

මේ වනවිට මහවැලි ගඟ හා සම්බන්ධ ජල විදුලිය නිෂ්පාදනය සඳහා යොදා ගනු ලබන ජලාශවල සියයට 73ක් පමණ ජලය පවතින නමුත් ජල විදුලි නිෂ්පාදනයට ගත හැකි ජල ප්‍රමාණය සියයට 50 ක් බව සදහන්.

මහවැලි ජල පාලන ලේකම් කාර්යාලය මගින් කළමනාකරණය කරනු ලබන මහවැලි අධිකාරියට සහ වාරිමාර්ග දෙපාර්තමේන්තුවට අයත් ජලාශවල සහ වැව් වල සියයට 73ක පමණ ජලය මේ වනවිට පවතින අතර ඉන් සියයට 64ක් පමණ ප්‍රයෝජනයට ගත හැකි බවයි මහවැලි අධිකාරිය ප්‍රකාශ කළේ.

මෙවර යල කන්නය මාර්තු 15 වනදා වනවිට ආරම්භ කිරීමට සැලසුම් කරමින් ඇති අතර, මේ වනවිට පවතින සියයට 75 ක් පමණ සමස්ත ජල ධාරිතාව මෙවර යල කන්නය ආරම්භ කරන විට සියයට 85ක් පමණ ප්‍රමාණයක් පවත්වා ගත යුතුවා.

ඒ අනුව, යල කන්නයේ වාරි ජලාශ යටතේ ඇති වගා බිම් ප්‍රමාණය සම්පූර්ණය වගා කිරීමට නොහැකි වන බවයි මහවැලි අධිකාරියේ නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් ඉංජිනේරු ඩී.එම්.එන්.ජේ. ධනපාල සදහන් කළේ.

එමෙන්ම, මෙවර මහ කන්නයේ වර්ෂාපතනය පෙර කන්නය හා සැසදීමේ දී අඩුවීමක් පෙන්නුම් කරන බවයි මහවැලි අධිකාරිය ප්‍රකාශ කළේ.