අද ප්‍රදේශ කිහිපයකට වැසි හෝ ගිගුරුම් සහිත වැසි

අද ප්‍රදේශ කිහිපයකට වැසි හෝ ගිගුරුම් සහිත වැසි

නිරිතදිග බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයේ පැවති පීඩන අවපාතය නැඟෙනහිර වෙරළ දෙසින් දිවයිනට ඇතුළු වී ශ්‍රී ලංකාව හරහා ගමන් කරමින් පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරනවා.

මේ හේතුවෙන්, දිවයිනේ බොහෝ ප්‍රදේශවල අහස වලාකුළින් බර ව පවතින අතර උතුරු, උතුරු-මැද සහ නැඟෙනහිර පළාත්වල විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි යි.

දිවයිනේ සෙසු ප්‍රදේශවල සවස් කාලයේ දී හෝ රාත්‍රී කාලයේ දී වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව සඳහන්.

උතුරු, උතුරු-මැද,නැඟෙනහිර සහ ඌව පළාත්වලත් පුත්තලම දිස්ත්‍රික්කයේත්, ඇතැම් ස්ථානවලට මිලි මීටර්100ක ට වැඩි තද වැසි ඇති විය හැකි අතර, උතුර, උතුරු-මැද,නැඟෙනහිර සහ වයඹ පළාත්වල විටින් විට පැයට කිලෝ මීටර් 40-50ක පමණ තද සුළං ද බලාපොරොත්තු විය හැකි බව වාර්තා වෙනවා.

ගිගුරුම් සහිත වැසි සමඟ ඇති විය හැකි තාවකාලික තද සුළංවලින් සහ අකුණු මඟින් සිදු වන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස යි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටින්නේ.