නව දෙමුහුන් ඇන්තූරියම් විශේෂ සහ නව අන්නාසි ප්‍රභේද දෙකක් හඳුනා ගැනේ

නව දෙමුහුන් ඇන්තූරියම් විශේෂ සහ නව අන්නාසි ප්‍රභේද දෙකක් හඳුනා ගැනේ

නව දෙමුහුන් ඇන්තූරියම් විශේෂ 44ක් හා අන්නාසි ප්‍රභේද දෙකක් කුලියාපිටිය මාකඳුර කෘෂිකර්ම පර්යේෂණ ආයතනය විසින් හඳුන්වා දී තිබේ.

මෙම ඇන්තුරියම් විශේෂ 44ට අමතරව තවත් ඇන්තූරියම් විශේෂ දෙකක් ‘ලංකා බියුටි‘ හා ‘ලංකා කුමාරි‘ යනුවෙන් නම් කර ඇත. අන්නාසි ප්‍රභේද සදහා තවමත් නම් යෝජනා කර නැත.

කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා ඊයේ (30) මාකඳුර කෘෂිකර්ම පර්යේෂණ ආයතනයට ගොස් එහි පර්යේෂණ පිළිබඳව ප්‍රගතිය විමසා බැලීමේ සාකච්ඡාවකට සහභාගි විය.

ඇන්තූරියම් මල් වගාව සම්බන්ධ පර්යේෂණ අමාත්‍යවරයා නිරීක්ෂණය කළ අතර එහි දී ලංකා කුමාරි සහ ලංකා බියුටි යනුවෙන් තවත් විශේෂ දෙකක් නම් කර ඇති බව පර්යේෂණ නිලධාරිහු පෙන්වා දුන්නේය.

එකී ඇන්තූරියම් විශේෂයන් හි ප්‍රධාන ලක්ෂණයන් වන්නේ ඇන්තූරියම් මල් දිළිසෙන වර්ණයන්ගෙන් යුක්තවීම හා මලෙහි ආයු කාලය දීර්ඝ වීමයි. සතියක පමණ කාලයක් වර්ණය වෙනස් නොවී හා මල් පරවී යාමට ලක් නොවී පවතින බව පර්යේෂණ නිලධාරිහු ප්‍රකාශ කළේය.

ශ්‍රී ලංකාවේ ගෘහණියන් අතර ඇන්තූරියම් වගාව ඉතාමත් ජනප්‍රියව පවතින අතර නිවසේ සිටම මුදල් උපයා ගැනීමේ ස්වයං රැකියාවක් ලෙස ඇන්තූරියම් වගාව කළ හැකි නිසා මෙම නව ප්‍රභේද කඩිනමින් ම රටට හඳුන්වා දීමට පියවර ගන්නා බව කෘෂිකර්ම පර්යේෂණ නිලධාරිහු ප්‍රකාශ කළහ.

මේ අතර මාකඳුර කෘෂිකර්ම පර්යේෂණ ආයතනය විසින් අන්නාසි සඳහා සිදු කරන ලද පර්යේෂණ අනුව ද නව ප්‍රභේද දෙකක් නිපදවීමට සමත්වී තිබේ. කටු රහිත එම අන්නාසි ප්‍රභේද දෙකම ඉමිහිරි රසයකින් යුක්තය.

එම අන්නාසි ප්‍රභේද ද අමාත්‍යවරයා විසින් නිරීක්ෂණය කළ අතර තද කොළ පැහැති හා ලා කහ පැහැති එම අන්නාසි ප්‍රභේද දෙක ආකර්ශණීය පෙනුමකින් ද යුක්ත වේ. රසායනික පොහොර යෙදීමකින් තොරව කාබනික පොහොර යොදා ගනිමින් වගා කිරීමට ඇති හැකියාව නිසා ජාත්‍යන්තර වෙළඳ පොල සඳහා ද මෙම අන්නාසි ප්‍රභේද දෙක යොදා ගත හැකි වේ.