මැ.කොමිසමට රටින් ආ මරණ තර්ජන ගැන විමර්ශනයක්

මැ.කොමිසමට රටින් ආ මරණ තර්ජන ගැන විමර්ශනයක්

මැතිවරණ කොමිෂන් සභාවේ සාමාජිකයින්ට “මරණ තර්ජන සිදු කිරීම” සම්බන්ධයෙන් වන විමර්ශන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් සිදු කරන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නිහාල් තල්දූව පවසයි.

ඔහු සඳහන් කළේ, එම සිදුවීම පිළිබඳ සිදු කළ විමර්ශනවලදී අදාළ නිලධාරීන්ට තර්ජනය කර ඇත්තේ එක ම දුරකතන අංකය භාවිතයෙන් බව අනාරවණය වූ බව ය.

එමෙන් ම, එම දුරකතන අංකය ගාල්ල දිස්ත්‍රික්කයේ ලිපිනයකට ලියාපදිංචි කර ඇතැයි අනාවරණය වූ බව ද ඔහු පැවසීය.

කෙසේ වෙතත්, අදාළ ලිපිනයේ පදිංචිකරු මේ වන විට ලංකාවේ නොමැති බව ත් ඔහු මෙවැනි සිදුවීමක් සම්බන්ධයෙන් දැනුවත් නොමැති බව ත් සිදු කළ විමර්ශනවලදී අනාවරණය වී ඇත.

පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේ, අදාළ ඇමතුම් යම් විදේශ රටක සිට ලැබෙන බවට නිරීක්ෂණය වී ඇති බව ය.

ඒ අනුව, විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාවේ සහ ශ්‍රී ලංකා ටෙලිකොම් ආයතනයේ සහය ලබා ගෙන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ඉදිරි විමර්ශන සිදු කරන බව ඔහු පැවසීය.

පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා වැඩිදුරටත් සඳහන් කළේ, මරණ තර්ජන ලද බවට පැමිණිල කළ මැතිවරණ කොමිෂන් සභාවේ සාමාජිකයින් තිදෙනාගේ ම නිවෙස්වලට මේ වන විට ආයුධ සහිතව පොලිස් ආරක්ෂාව ලබා දී ඇති බව ය.

කොමිෂන් සභාවේ සාමාජිකයන් දෙදෙනෙකු වන එස්.බී. දිවාරත්නට සහ කේ.පී.පී. පතිරණට මරණ තර්ජන එල්ල වී ඇති බවට ජන. 19 වන දා වාර්තා වූ අතර එම කොමිසමේ සාමාජිකයෙකු වන එම්.එම්. මොහොමඩ්ට ද එලෙස ම මරණ තර්ජන එල්ල වී තිබිණි.

මේ අතර, තම සාමාජිකයින්ට එල්ල වී ඇති මරණ තර්ජන සම්බන්ධයෙන් මෙන් ම, නිදහස් හා සාධාරණ මැතිවරණයක් පැවැත්වීමට අවශ්‍ය වටපිටාව සකස්කර දෙන ලෙස ඉල්ලමින් මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති නිමල් පුංචිහේවා ජනාධිපතිවරයා වෙත ලිපියක් යොමු කර තිබේ.