පාස්පෝට් මධ්‍යස්ථාන 50ක් අලුතින් රට පුරා

පාස්පෝට් මධ්‍යස්ථාන 50ක් අලුතින් රට පුරා

විදෙස් ගමන් බලපත්‍ර නිකුත් කිරීම සඳහා ප්‍රාදේශීය වශයෙන් මධ්‍යස්ථාන 54ක් ස්ථාපිත කිරීමට රජය තීරණය කර ඇතැයි මහජන ආරක්ෂක ඇමැති ටිරාන් අලස් පැවසීය.

ඔහු මේ බව ප්‍රකාශ කළේ බත්තරමුල්ල සුහුරුපායේ පිහිටි මහජන ආරක්ෂක අමාත්‍යාංශයේ ඊයේ (27) පැවැති මාධ්‍ය හමුවකට සහභාගි වෙමිනි.

විදෙස් ගමන් බලපත්‍ර නිකුත් කිරීම සඳහා දැනට රට පුරා ක්‍රියාත්මක වනුයේ මධ්‍යස්ථාන 4ක් පමණක් බවත්, එම මධ්‍යස්ථාන සංඛ්‍යාව ඉහළ නංවා විදෙස් ගමන් බලපත්‍ර නිකුත් කිරීමේ ක්‍රියාවලිය කාර්යක්ෂම කිරීම රජයේ අරමුණ බවත් පැවසූ ඇමැතිවරයා අලුත් මධ්‍යස්ථාන ස්ථාපිත කළ පසු මහජනතාවට ඉන් ඕනෑම ස්ථානයකට ගොස් ඡායාරූපය සහ ඇඟිලි සලකුණ භාර දී විදෙස් ගමන් බලපත තම නිවෙසටම ගෙන්වාගැනීමේ හැකියාව උදා වන්නේ යැයිද කීවේය.

මේ අතර ප්‍රාදේශීය ලේකම් කාර්යාල 50ක් ඇතුළු ආයතන 55කින් මාර්ගගතව (Online) විදෙස් ගමන් බලපත්‍රය ලබා ගැනීම සඳහා පහසුකම් සලසන බව ආගමන විගමන දෙපාර්තමේන්තුව පවසයි.

ආගමන විගමන පාලක ජනරාල් හර්ෂ ඉලුක්පිටිය මහතා සඳහන් කළේ, මාර්ගගතව අයැදුම්පතක් යොමුකර, අදාළ ප්‍රාදේශීය ලේකම් කාර්යාලයට ගොස් ඇඟිලි සළකුණු ලබාදීමෙන් දින 3ක් ඇතුළත විදෙස් ගමන් බලපත්‍රය ලබා ගැනීමට හැකියාව ඇති බවයි.

විදෙස්ගත ශ්‍රී ලාංකිකයෙකුට ද තානාපති කාර්යාලය වෙත ගොස් ඇඟිලි සළකුණු ලබාදී මාර්ගගතව විදෙස් ගමන් බලපත්‍ර අයැදුම්පතක් යොමු කිරීමට පහසුකම් සලසන බව ආගමන විගමන පාලක ජනරාල් හර්ෂ ඉලුක්පිටිය මහතා ප්‍රකාශ කළේ ය.

ඔහු සඳහන් කළේ, ගෝල්ඩන් පැරඩයිස් නමින් නව වීසා වැඩසටහනක් ද ක්‍රියාත්මක බවයි.