විත්ති කූඩුවට නැගීම ප්‍රතික්ෂේප කළ මෛත්‍රීට අධිකරණයෙන් අවවාද

විත්ති කූඩුවට නැගීම ප්‍රතික්ෂේප කළ මෛත්‍රීට අධිකරණයෙන් අවවාද

පාස්කු ප්‍රහාරයට අදාළ නඩුව විභාග වන අවස්ථාවේ දී විත්ති කූඩුවට නො නැඟීම සම්බන්ධයෙන් කොළඹ – කොටුව මහේස්ත්‍රාත් තිලිණ ගමගේ, අද (27) හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනට අවවාද කරනු ලැබුවා.

ඉන් අනතුරුව ඔහු විත්ති කූඩුවට නැගි බවයි හිරු අධිකරණ වාර්තාකරු කියා සිටියේ.

පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරය වළක්වා ගැනීමට අපොහොසත් වීම සම්බන්ධයෙන් සිරිල් ගාමිණී පියතුමා ඇතුළු දෙදෙනෙකු විසින් හිටපු ජනාධිපතිවරයාට එරෙහි ව ගොනු කර ඇති පෞද්ගලික පැමිණිල්ලට අදාළ නඩුව අද කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණයේ දී විභාගයට ගනු ලැබුවා.

එහි දී හිටපු ජනාධිපතිවරයා විත්ති කූඩුවට නැගීමකින් තොර ව පිටත රැඳී සිටි අවස්ථාවේ පැමිණිල්ල වෙනුවෙන් පෙනී සිටිි ජනාධිපති නීතීඥ රියෙන්සි අර්සකුලරත්න ඊට විරෝධය පළ කළා.

කෙසේ වෙතත් හිටපු ජනාධිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතීඥ ෆයිසර් මුස්තාපා කියා සිටියේ, සිය සේවා දායකයා වෙනුවෙන් පවරා ඇති පෞද්ගලික පැමිණිල්ලට අදාළ ව ඉදිරි පියවර ගැනීම අභියාචනාධිකරණය විසින් අත්හිටුවා ඇති බැවින් ඔහු විත්තිකූඩුවට නැගීමක් සිදු නො කළ බව යි.

අභියාචනාධිකරණය විසින් තම අධිකරණයට නියෝග කර ඇත්තේ සැකකරුට චෝදනා පත්‍රය කියවා දී නඩුවේ ඉදිරි කටයුතු යළි අභියාචනාධිකරණ තීන්දුවක් ලබාදෙන තුරු වැළැක්වීම මිස ඔහුට විත්ති කූඩුවට නො නගින ලෙස නියෝගයක් නොවන බව ම්යි මහේස්ත්‍රාත්වරයා කියා සිටියේ.

ඉන් අනතුරු ව හිටපු ජනාධිපතිවරයා විත්ති කූඩුවට නැඟ ඇති අතර, නඩුව යළි මාර්තු 17 වැනි දා කැඳවීමට මහේස්ත්‍රාත්වරයා නියෝග කරනු ලැබුවා