ක්‍රිකට් තේරීම් කමිටුවට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය දුන් නම් ප්‍රතික්ෂේප වෙයි

ක්‍රිකට් තේරීම් කමිටුවට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය දුන් නම් ප්‍රතික්ෂේප වෙයි

ක්‍රිකට් තේරීම් කමිටුව සඳහා වත්මන් ක්‍රිකට් තේරීම් කමිටු සාමාජිකයන් ද ඇතුලත්ව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් එවන ලද නම් ජාතික ක්‍රීඩා තේරීම් කමිටුව (NSSC) විසින් ප්‍රතික්ෂේප කර තිබෙනවා.

ඒ බව දන්වමින් ජාතික ක්‍රීඩා තේරීම් කමිටුව ක්‍රීඩා අමාත්‍යාංශයට ලිපියක් ද යොමු කර තිබෙනවා.

ක්‍රීඩා අමාත්‍යාංශයට ලිපියක් යවමින් ජාතික ක්‍රීඩා තේරීම් කමිටුව පෙන්වා දී ඇත්තේ එම තනතුරු සඳහා මීට වඩා සුදුසු පුද්ගලයින් සිටින බවයි.

ප්‍රමෝද්‍ය වික්‍රමසිංහ සහ වත්මන් ක්‍රිකට් තේරීම් කමිටු සාමාජිකයින් ගේ නම් ඇතුලත් වූ මෙම ලේඛනයට තවත් හිටපු ක්‍රිකට් ක්‍රීඩකයින් කිහිප දෙනෙකුගේ ද නම් ද ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් එක් කර තිබූ බව ක්‍රීඩා අමාත්‍යාංශ ආරංචි මාර්ග සඳහන් කරයි.

ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩාවේ ස්ථාවරත්වය යළි ඇති කිරීම සඳහා වෘත්තීයමය වශයෙන් සුදුසුකම් ලත් තේරීම් කමිටුවක් තෝරා ගැනීම යුගයේ අවශ්‍යතාවක් බව ජාතික ක්‍රීඩා තේරීම් කමිටුව (NSSC) විශ්වාස කරන බව ඔවුන් ක්‍රීඩා අමාත්‍යාංශ වෙත යොමු කළ ලිපියේ සඳහන්.

ඒ අනුව ශ්‍රී ලංකා ක්‍රිකට් තේරීම් කමිටුව සඳහා සුදුස්සන් තේරීම සඳහා අලුතින් නාමයෝජනා නැවත කැඳවීමටයි ජාතික ක්‍රීඩා තේරීම් කමිටුව ක්‍රීඩා අමාත්‍යාංශයේ අනුමැතිය ඉල්ලා ඇත්තේ.