ඉන්ෆ්ලුවෙන්සා අවදානම ඉදිරි මාස කිහිපයේදීත්

ඉන්ෆ්ලුවෙන්සා අවදානම ඉදිරි මාස කිහිපයේදීත්

මේ දිනවල මෙරට බහුලව ව්‍යාප්තවන්නේ ඉන්ෆ්ලුවෙන්සා A වයිරසය බවත් මෙම වයිරස ව්‍යාප්තිය අප්‍රේල්, මැයි, ජුනි මාසවලදී වැඩිවිය හැකි බවත් බොරැල්ල වෛද්‍ය පර්‌යේෂණ ආයතනයේ වයිරසවේදය පිළිබඳ විශේෂඥ වෛද්‍ය ජූඩ් ජයමහ පවසයි.

ඊයේ (18) සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශයේ පැවැති මාධ්‍ය හමුවට එක්වෙමින් විශේෂඥ වෛද්‍යවරයා මේ බව ප්‍රකාශ කළේය.

රෝහල් දහනවයක බාහිර රෝගී අංශයට පැමිණි රෝගීන්ගේ සහ නේවාසිකව ප්‍රතිකාර ලබන රෝගීන්ගේ ලබා ගත් සෙම් පටල පරීක්ෂා කිරීමේදී මේ බව තහවුරු කරගෙන තිබේ.

එසේම සෑම මාසයකම ප්‍රතිකාර ගැනීමට බාහිර රෝගී අංශයට එන රෝගීන්ගෙන් සියයට පහක් සියයට දහයක් අතර පිරිසකට ඉන්ෆ්ලුවෙන්සා ‍වයිරසය ආසාදිත වී ඇති බවද විශේෂඥ වෛද්‍ය ජූඩ් ජයමහ ප්‍රකාශ කළේය.

සාමාන්‍යයෙන් පසුගිය වර්ෂවල මැයි සිට දෙසැම්බර් මාසය වනතෙක් කාලය තුළදී මෙලෙස ප්‍රතිකාර ගැනීමට පැමිණෙන රෝගීන්ගෙන් සියයට විසිදෙකක්, සියයට තිස්තුනක ප්‍රමාණයකට ඉන්ෆ්ලුවෙන්සා වයිරසය අසාදිත වී ඇති බවට හඳුනා ගන්නා බවද හෙතෙම පැවසීය.

කැස්ස, සෙම්ප්‍රතිශ්‍යාව, හුස්ම ගැනීමේ අපහසුතා ඇති පුද්ගලයන් මේ පිළිබඳ සැලකිලිමත් විය යුතු බවත් මෙම රෝග තත්ත්වයන් උත්සන්න වන්නේනම් වෛද්‍ය ප්‍රතිකාර ලබා ගැනීම වැදගත් බවත් බොරැල්ල වෛද්‍ය පර්‌යේෂණ ආයතනයේ වයිරසවේදය පිළිබඳ විශේෂඥ වෛද්‍ය ජූඩ් ජයමහ වැඩිදුරටත් ප්‍රකාශ කළේය.