කාන්තාවන් ලක්ෂයකින් 27 කට පියයුරු පිළිකා

කාන්තාවන් ලක්ෂයකින් 27 කට පියයුරු පිළිකා

2020 වසරේ වාර්තාවලට අනුව මෙරට කාන්තාවන් ලක්ෂයක් අතරින් 27 දෙනකු පියයුරු පිළිකා රෝගීන් බවට හඳුනාගෙන ඇති බවත් ඉන් ලක්ෂයකින් 11 දෙනකු මියයෑමේ තත්ත්වයක් හෙළිවී ඇති බවත් සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.

පියයුරු පිළිකා හේතුවෙන් මියගිය වැඩි පිරිස වයස අවුරුදු 45 – 50 ඉක්මවු කාන්තාවන් බවද එම වාර්තාවලින් හෙළිවෙයි.

පියයුරු පිළිකා පිළිබඳ දැනුවත් වීම සඳහා වන නව වෙබ් අඩවියක් පසුගියදා සෞඛ්‍ය අමාත්‍යාංශයේදී හඳුන්වා දුන් අතර ජාතික පිළිකා මර්දන වැඩසටහන සෞඛ්‍ය අමාත්‍යාංශය හා එක්ව මෙම වෙබ් අඩවිය හඳුන්වා දෙනු ලැබිණි. සෞඛ්‍ය අමාත්‍ය ආචාර්ය කෙහෙළිය රඹුක්වැල්ලගේ ප්‍රධානත්වයෙන් මෙය සිදු කෙරුණු අතර breastcancerdetect.health.gov.lk යන වෙබ් අඩවියෙන් ඊට පිවිසිය හැක.

පිළිකාව පිළිබඳ දැනුවත් වීම පරීක්‍ෂාවන් සඳහා දිනයක් වේලාවක් මාර්ගගත ක්‍රමය ඔස්සේ වෙන් කර ගැනීම මෙමගින් සිදු කරගත හැක. ජාතික පිළිකා මර්දන වැඩසටහනේ පස් අවුරුදු සැලැස්ම ඔස්සේ මෙම වැඩසටහන ක්‍රියාවට නැංවෙයි. 2019 දී මෙරටින් පියයුරු පිළිකා රෝගීන් 4447 ක් වාර්තා වු අතර එය 2020 වන විට 5000 ඉක්මවා තිබේ. 2019 දී වාර්තා වු රෝගීන්ගෙන් 60% ක් එයට පෙර හඳුනා ගැනුණු පළමු හා දෙවන මට්ටමේ රෝගීන් ලෙස හඳුනාගෙන ඇත.

COMMENTS