විදුලි ඒකකයක් ලබන වසරේ රුපියල් 56.90ක් වෙයි

විදුලි ඒකකයක් ලබන වසරේ රුපියල් 56.90ක් වෙයි

2023 වසරේ අඛණ්ඩ විදුලිය සැපයීමට නම් එක් විදුලි ඒකකයක් සඳහා රුපියල් 56.90ක් වැය වනු ඇතැයි ලංවිම ඇස්තමේන්තු කර ඇති බව විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර පවසනවා.

ට්විටර් පණිවිඩයක් නිකුත් කරමින් අමාත්‍යවරයා සඳහන් කරන්නේ, “මගේ මතය නම් ඒකකයක් සඳහා රුපියල් 56.90ක නිෂ්චිත ගාස්තුවක් අය කළ යුතු බවත්, අඩු ආදායම්ලාභී පවුල් සඳහා සෘජු මුදල් දීමනාවක් ලබා දිය යුතු” බවයි.

එසේ ම ලංවිම බිල්පත් දත්තවලට අනුව ගෘහස්ත විදුලි පාරිභෝගිකයින් 6,709,574ක් සිටින බවත්, දැනට ඒකකයක් සඳහා සාමාන්‍ය ගාස්තුව රුපියල් 29.14ක් අය කරන නමුත් රුපියල් බිලියන 423.5ක හිඟ මුදලක් ලංකා විදුලි බල මණ්ඩලයට අයවිය යුතු බවයි.

තව ද, ඒකක 0-30 දක්වා ප්‍රමාණයක් මාසිකව පරිභෝජනය කරන පාරිභෝගිකයින් 1,460,828 ක් සිටින බවත් මේ වන විට එම කාණ්ඩයේ විදුලි ඒකකයක් සඳහා අය කරනු ලබන්නේ රුපියල් 8ක් බවත් 30-60 දක්වා ප්‍රමාණයක් මාසිකව පරිභෝජනය කරන පාරිභෝගිකයින් 1,683,172ක් සිටින බවත් එම කාණ්ඩයේ විදුලි ඒකකයක් සඳහා අය කරනු ලබන්නේ රුපියල් 10ක් බවත් පවසනවා.

මේ අතර ඒකක 60-90 දක්වා ප්‍රමාණයක් මාසිකව පරිභෝජනය කරන පාරිභෝගිකයින් 1,702,515ක් සිටින බවත් මේ වන විට එම කාණ්ඩයේ විදුලි ඒකකයක් සඳහා අය කරනු ලබන්නේ රුපියල් 16ක් බවත්, ඒකක 90-180 ප්‍රමාණයක් භාවිත කරන පාරිභෝගිකයින් 1,559,131ක් සිටින බවත් එම කාණ්ඩයේ ඒකකයකට රු.50ක් අය කරනු ලබන බවත් පවසනවා.

එසේ ම ඒකක 180ට වඩා භාවිත කරන පාරිභෝගිකයින් 303,928ක් සිටින අතර ඒකකයකට රුපියල් 75ක් අය කරන බවත් අමාත්‍යවරයා පවසනවා.

මේ අතර අමාත්‍යවරයා පැවසුවේ, පහළ ස්ථරවලට විශාල වශයෙන් සහනාධාර ලබා දෙන අතර ඉහළ ස්ථරය සහනාධාරයේ කොටසක් සඳහා වන්දි වශයෙන් සාමාන්‍ය පිරිවැයට වඩා ගෙවීමට සිදුව ඇති බවත් ඉතිරිය සහනාධාර වශයෙන් මහා භාණ්ඩාගාරය විසින් දරනු ලබන බව‍යි.