ඩයනාගේ පාස්පෝට් එකෙන් මැතිසබය උණුසුම් වෙයි

ඩයනාගේ පාස්පෝට් එකෙන් මැතිසබය උණුසුම් වෙයි

සංචාරක රාජ්‍ය ඇමතිනී ඩයනා ගමගේගේ පුරවැසිභාවය සම්බන්ධයෙන් ඊයේ (05) සමගි ජන බලවේගය පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබර් රහුමාන් පාර්ලිමේන්තුවට ලිපි ලේඛන ඉදිරිපත් කරමින් ප්‍රශ්න කිරීමක් සිදු කළා.

එහි දී මන්ත්‍රීවරයා හිටපු ආගමන විගමන පාලකවරයා විසින් අභ්‍යන්තර කටයුතු අමාත්‍යංශයේ ලේකම්වරයා වෙත යොමු කළ ලිපියක් සභාගත කරමින් කියා සිටියේ රාජ්‍ය අමාත්‍යවරිය ශ්‍රී ලාංකික පුරවැසිභාවයක් නොමැති කෙනකු බවට ආගමන විගමන පාලකවරයා විසින් දැනුම් දී ඇති බවයි.

මෙම ලිපිය සම්බන්ධයෙන් අද දිනයේ දීත් මුජිබර් රහුමාන් මන්ත්‍රීවරයා විසින් කථානායකවරයාගෙන් විමසා සිටියා.

එහිදී කතානායකවරයා මන්ත්‍රීවරයා නැගූ ප්‍රශ්නයට පිළිතුරු නගමින් කියා සිටියේ, මෙම සිදුවීම් සම්බන්ධයෙන් තමන් සොයා බලන බවයි.

ඒ අතරවාරයේ නැගී සිටී සමගි ජන බලවේග පාර්ලිමේන්තු මන්ත්‍රී චමින්ද විජේසිරි පාර්ලිමේන්තු ස්ථාවර නියෝග ගෙනහැර දක්වමින් කථානායකවරයාගෙන් ප්‍රශ්න කළා.

එහි දී ඔහු විමසා සිටියේ ස්ථාවර නියෝග 21 යටතේ ඇති ප්‍රතිපාදන අනුගමනය කරමින් පාර්ලිමේන්තුවට පිටස්තර පුද්ගලයකු ලෙස සලකා රාජ්‍ය අමාත්‍යවරිය සම්බන්ධයෙන් කටයුතු කළ නො හැකි ද යනුවෙන්.

එමෙන්ම 21 වැනි ව්‍යවස්ථා සංශෝධනය සඳහා පාර්ලිමේන්තුව නියෝජනය කළ මහජන නියෝජිතයින් 179 සිය එකඟතාව පළ කළ බවත්, මේ වන විට එම ව්‍යවස්ථා සංශෝධනය කතානායකවරයා විසින් අත්සන් තබා නීතියක් බවට පත්ව ඇති බවත්, පෙන්වා දුන් මන්ත්‍රීවරයා ප්‍රශ්න කළේ එවැනි නීතියක් පාර්ලිමේන්තු සභාගර්භය තුළම අමු අමුවේ උල්ලංඝනය වෙද්දී කතානායකවරයා ලෙස එය නොදුටුවා සේ සිටින්නේ කෙලෙස ද යනුවෙනු යි.

මෙහිදී චමින්ද විජේසිරි මන්ත්‍රීවරයාට පිළිතුරු දෙමින් කතානායකවරයා සඳහන් කළේ, මෙම සිදුවීම සම්බන්ධයෙන් සොයා බලා අදාළ පියවර ගන්නා බවයි.