ලෝක ඒඩ්ස් දිනය අදයි – හඳුනා නොගත් ඒඩ්ස් රෝගියෝ 700ක් සමාජයේ

ලෝක ඒඩ්ස් දිනය අදයි – හඳුනා නොගත් ඒඩ්ස් රෝගියෝ 700ක් සමාජයේ

“සමානාත්මතාව සුරකිමු” යන්න මෙවර ලෝක ඒඩ්ස් දිනයේ තේමාව ය.

ලෝක ඒඩ්ස් දිනය නිමිත්තෙන් ජනතාව දැනුවත් කිරීම සඳහා විවිධ වැඩසටහන් දිවයින පුරා ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර ඇති බව ජාතික ලිංගාශ්‍රිත රෝග සහ ඒඩ්ස් මර්දන ව්‍යාපාරයේ ප්‍රජා වෛද්‍ය විශේෂඥ වෛද්‍ය ජානක වේරගොඩ මහතා සඳහන් කළේය.

මේ වන විට මෙරට තරුණ ප්‍රජාව අතරින් HIV ආසාදිතයින් වාර්තා වීම ඉහළ යමින් පවතින බව විශේෂඥ වෛද්‍ය ජානක වේරගොඩ මහතා සඳහන් කළේය

මේ අතර හඳුනා නොගත් එච්.අයි.වී. වයිරසය ආසාදිත පුද්ගලයන් 700ක පමණ සංඛ්‍යාවක් සමාජය තුළ සිටින නිසා අනාරක්ෂිත ලිංගික සම්බන්ධතාවල යෙදෙන්නන්ට මේ වයිරසය ආසාදනයේ ඉහළ අවදානමක් පවතින බව විශේෂඥ ජානක වේරගොඩ මහතා පැවසුවේය.

ලෝක සෞඛ්‍ය සංවිධානයේ ඇස්තමේන්තුවලට අනුව 2021 වසර අවසන් වන විට ආසාදිතයන් 3,600ක් සොයා ගත යුතු වුවත් එම වසර අවසන් වන විට වාර්තා වී ඇත්තේ ආසාදිතයන් 2,900ක් පමණක් බවත් ඒ අනුව හඳුනානොගත් ආසාදිතයන් 700ක පිරිසක් සමාජය තුළ සිටින බවත් ඒ මහතා ප්‍රකාශ කළේය.

ආසාදිතයන් වාර්තා වීමේදී පිරිමි පුද්ගලයන් 5 දෙනකුට එක් කාන්තාවක් ලෙස අනුපාතය පැවති අතර, එය මේ වන විට පිරිමි පුද්ගලයන් 7 දෙනකුට එක් කාන්තාවක් ලෙස ඉහළ ගොස් ඇති බවත් අවුරුදු 15ත් 30ත් තරුණ පිරිස අතර සිටින ආසාදිතයන්ගෙන් පිරිමි 20කට එක් කාන්තාවක් ලෙස වාර්තා වී ඇති බවත් ඒ මහතා කියා සිටියේය.

පිරිමි පිරිමි ලිංගික සම්බන්ධතා පවත්වන්නන්, කාන්තා ලිංගික ශ්‍රමිකයන්, සංක්‍රාන්තික සමයේ සිටින්නන්, මත්ද්‍රව්‍ය එන්නත්කරණය කර ගන්නන්, බීච් බෝයිස්, බන්ධනාගාරගත කණ්ඩායම් යන කණ්ඩායම් හය මේ වයිරසය ආසාදිත වන අධි අවදානම් කණ්ඩායම් ලෙස හඳුනාගෙන ඇති බවද ඔහු පැවසුවේය.