රිදී තිරයට අලුතින්ම එන චිත්‍රපටය “සිනේමා”

රිදී තිරයට අලුතින්ම එන චිත්‍රපටය “සිනේමා”

සෑම වසරකදීම ලාංකීය සිනමාවට විවිධ ශානරයේ සිනමාපට එකතු වනවා. ක්‍රියාදාම චිත්‍රපට, ඵෙතිහාසික කතාපුවත්, චරිතාපදාන, ප්‍රේම කතා ආදී එකිනෙකට වෙනස් විවිධ දේශීය – සිනමාපට සෑම වසරකම පාහේ දිවයින පුරා සිනමාශාලාවල ප්‍රදර්ශනය වනවා. කෝවිඩ් වසංගතය හේතුවෙන් පසුගිය මාස කිහිපයක කාලය මෙරට සිනමාවට දැඩි බලපෑමක් එල්ල කළත් මෙරට සිනමාවේ සුපුරුදු රිද්මයට අද නැවතත් ළඟා වෙමින් සිටිනවා. 2021 වසරට සාපේක්ෂව මේ වසර මුල සිටම දේශීය සිනමාපට නිකුත් වීමත්, විදේශීය නිර්මාණ ගණනාවක මෙරට ප්‍රදර්ශනය ඇරඹීමත් නිසා රසිකයින් විශාල ප්‍රමාණයක් නැවතත් සිනමාශාලාවට ළඟා වෙමින් සිටිනවා.

අශෝක හඳගමගේ ඇල්බොරාදා, එරංග සේනාරත්නගේ මොනාලිසා සහ තේජා ඉද්දමල්ගොඩගේ ආශාවරී සිනමාපට ත්‍රිත්වයට පසුව 2022 වසරේ සිව්වන ලාංකීය සිනමාපටය වශයෙන් සිය ප්‍රදර්ශනය ඇරඹීමට නියමිතව තිබෙන්නේ කපිල සූරියආරච්චි අධ්‍යක්ෂණය කළ “සිනේ මා” (Cine Ma) නිර්මාණයයි.

‘සිනේමා’ චිත්‍රපටය නිෂ්පාදනය කර වසර 05කට අධික කාලයක් ගත වී තිබුණත්, විශේෂ දර්ශනවාර කිහිපයක් හැර පුළුල් මහජන ප්‍රදර්ශනයක් සඳහා ඊට අවස්ථාව හිමි වූයේ නැහැ. මෑතකාලයේ නිකුත් වූ සෙසු චිත්‍රපටවලට වඩා වෙනස් කතා අනතර්ගතයක් සහිත මෙම චිත්‍රපටය නිකුත් වීමට නියමිතව තිබෙන්නේ “සිනමාව තම ආත්මය කරගත් මිනිසුන්ගේ හෘද සාක්ෂිය” යන තේමාව ඔස්සේයි. වෛද්‍ය කපිල සූරියආරච්චි අධ්‍යක්ෂණය කළ දෙවන නිර්මාණය වන මෙය චම්පික ජයනන්දනගේ නිෂ්පාදනයකි.

2012 වසරේදී මාලිනී ෆොන්සේකා චරිත නිරූපණය කළ “ප්‍රතිරූ” චිත්‍රපටය අධ්‍යක්ෂණය කරමින් සිනමාවට පිවිසි කපිල සූරියආරච්චිව හඳුන්වන්නේ, මෑත ඉතිහාසයේදී සිනමා ක්ෂේත්‍රයට පිවිසි මෙරට පළමු වෛද්‍යවරයා ලෙසයි.
කෙසේ නමුත්, සිනේ මා චිත්‍රපටය නිකුත් කිරීමට දැන් නිශ්චිත දිනයක් (release date) ලැබී තිබෙනවා. ඒ අනුව එළඹෙන අප්‍රේල් 22 වනදා සිට දිවයින පුරා තෝරාගත් සිනමාහල් ප්‍රමාණයකට සිනේමා චිත්‍රපටය මුදා හැරීමට නිෂ්පාදක කණ්ඩායම විසින් තීරණය කර තිබෙනවා.

සිනේමා චිත්‍රපටය‍ ගොඩ නැඟෙන්නේ සිනමාව හා බැදුණු පුද්ගලයින් හය දෙනෙකුගේ සිද්ධි දාමයක් මුල් කරගෙනයි. ඔවුන් හය දෙනා සිනමා ක්ෂේත්‍රයට පිවිසෙන ආකාරයත්, සිනමාව තුළ එකිනෙකාගේ ගමනට අනෙක් පුද්ගලයින් බලපෑම් කරන ආකාරයත් මේ නිර්මාණය තුළින් ප්‍රේක්ෂකයින්ට දැක ගැනීමට හැකියි.

සිනේමා (CineMa) චිත්‍රපටයට එක් වූ රංගන ශිල්පීන් සහ කාර්මික ශිල්පීන් පිරිස පහතින් සවිස්තරාත්මකව දක්වා තිබෙනවා.

අධ්‍යක්ෂණය : කපිල සූරියආරච්චි
කතාව සහ තිර පිටපත : කපිල සූරියආරච්චි
නිෂ්පාදනය : චම්පික ජයනන්දන

රංගන ශිල්පීන් :

ශ්‍යාම් ප්‍රනාන්දු, විහඟ සූරියආරච්චි, ඩග්ලස් රණසිංහ, රොබින් ප්‍රනාන්දු, නයන්තාරා වික්‍රමාරච්චි, බිමල් ජයකොඩි, ගාමිණී හෙට්ටිආරච්චි, උදේනි අල්විස්, ජගත් බෙනරගම, චාන්දනී සෙනවිරත්න, ඉසුරු ලොකුහෙට්ටිආරච්චි, විජේරත්න වරකාගොඩ, කළණි දොඩැන්තැන්න, දුලීකා මාරපන, අයිරාංගනී සේරසිංහ, තුසිත් රණවීර, ත්‍රිෂලා නතාෂි සහ කෞෂල්‍යා සමරසිංහ

කැමරාකරණය : නිශාන්ත ප්‍රදීප්
සංස්කරණය : ප්‍රසංග නාපවල
කලා අධ්‍යක්ෂණය : බුද්ධි සංජය එදිරිසිංහ සහ දිනේෂ් ඉන්දික විජේසිරි
නිෂ්පාදන කළමනාකරණය : දමයන්ති ෆොන්සේකා
වේෂ නිරූපණය : සුසන්ත රාමසිංහ

සංගීත අධ්‍යක්ෂණය : ආචාර්ය රෝහණ වීරසිංහ
පසුබිම් ගීත ගායනය : සේනක බටගොඩ, අමරසිරි පීරිස්, උරේෂා රවිහාරි, රන්ජන් සාලිය පෙරේරා