සංචාරක නිකේතන විදේශිකයින්ට පමණක් දෙන්නන්ට වැඩ වරදී

සංචාරක නිකේතන විදේශිකයින්ට පමණක් දෙන්නන්ට වැඩ වරදී

විදේශිකයින්ට පමණයි (foreigners only) යනුවෙන් දැන්වීම් ප්‍රදර්ශනය කරමින් දේශීය සංචාරකයින් හට සේවාවන් ලබා නො දෙන සංචාරක නිකේතන සම්බන්ධයෙන් දැඩි ක්‍රියාමාර්ග ගන්නා බව ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය සඳහන් කළා.
නිවේදනයක් නිකුත් කරමින් සෑම පුද්ගලයකුටම සමාන අයිතිවාසිකම් ඇති බවට මෙරට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන්ම තහවුරු කර ඇති බව එම අධිකාරිය සඳහන් කළා.

එබැවින් යම් කිසි පුද්ගලයෙක් ජාතිය, වර්ණය, ආගම හෝ එවැනි වූ වෙනත් කාරණයක් මුල්කරගෙන අසමාන වූ සැලකීමකට ලක් විය නොහැකි බවටයි ඔවුන් අවධාරණය කරන්නේ.

එබැවින් විදේශිකයන්ට පමණයි යනුවෙන් කාණ්ඩ කිරීමකට ලක් කර සංචාරකයින් සඳහා සේවාවන් සැපයීමෙන් වළකින ලෙස ඔවුන් සෑම සංචාරක නිකේතනයකින් ම ඉල්ලා සිටියා.

පසුගිය සමයේ කෝවිඩ් -19 හේතුවෙන් මෙරට සංචාරක කර්මාන්තයට බරපතළ බලපෑම් එල්ල වී තිබූ කාල සීමාව තුළ දී සංචාරක හෝටල් සහ එම කර්මාන්තය යම් තරමකින් හෝ ආරක්ෂා වූයේ දේශීය සංචාරකයින් විසින් එම කර්මාන්ත ක්ෂේත්‍රයට ලබාදුන් දායකත්වය නිසා බව සංචාරක සංවර්ධන අධිකාරිය වැඩිදුරටත් අවධාරණය කරනවා.

ඔවුන්ට ඒ සඳහා කර්මාන්තයේ නියැලෙන්නන් විසින් ප්‍රතිඋපකාර කළ යුතු කාලය එළඹී ඇති බව එම අධිකාරිය සඳහන් කළා.
එමෙන්ම සංචාරක නිකේතන තුළ ක්‍රියාත්මක වන නීති රීති සහ එහි ගුණාත්මකභාවය ආරක්ෂා කිරීමට දේශීය සංචාරකයින් ද වගකීමෙන් කටයුතු කළ යුතු බව පණිවිඩයක් නිකුත් කරමින් සංචාරක සංවර්ධන අධිකාරිය නිවේදනය කළා.