පූර්ණ තරගාවලි ජයක් සොයා ශ්‍රී ලංකා කණ්ඩායම අද සටන් බිමට

පූර්ණ තරගාවලි ජයක් සොයා ශ්‍රී ලංකා කණ්ඩායම අද සටන් බිමට

සංචාරක සිම්බාබ්වේ කණ්ඩායම සහ ශ්‍රී ලංකාව අතර තරග තුනකින් සමන්විත එක්දින තරගාවලිය අද (16) පල්ලේකැලේ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගනයේ දී ආරම්භ වීමට නියමිතයි.

දිවා රාත්‍රී තරගයක් ලෙසින් පැවැත්වෙන මෙම තරගය පස්වරු 2.30ට ආරම්භවීමට නියමිතව තිබෙනවා.

2023 වසරේ පැවැත්වීමට නියමිත එක්දින ලෝක කුසලාන තරගාවලියේ දී සුදුසුකම් ලැබීමේ තරග වටයට සහභාගිවීමෙන් වැළකී සිටීමට නම් මෙම තරගාවලිය තරග තුනට බින්දුවක් ලෙස ශ්‍රී ලංකා කණ්ඩායම ජයගත යුතුවනවා.

අද තරගයේ දී ශ්‍රී ලංකා කණ්ඩායමේ ආරම්භක පිතිකරුවන් ලෙස පැතුම් නිස්සංක සහ කුසල් මෙන්ඩිස් යොදාගනු ඇති බවයි තොරතුරු වාර්තා වන්නේ.

ආරම්භක පිතිකරු අවිශ්ක ප්‍රනාන්දුට කොවිඩ් වෛරසය ආසාධනය වීමත් මැද පෙළ පිතිකරු, උප නායක ධනංජය ද සිල්වා පෞද්ගලික හේතුවක් මත තරගාවලියෙන් ඉවත් වීමත් හේතුවෙන් සංචිතයට එක්වීමට වරම් ලද කුසල් මෙන්ඩිස්ට මෙම තරගාවලියේ දී වැඩි කාර්යය භාරයක් පැවැරී තිබෙනවා.

මේ අතර වේග පන්දු යවන ක්‍රීඩක දුෂ්මන්ත චමීර අද තරගයට එක් නොවන බවයි පසු ගියදා පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ශ්‍රී ලංකා නායක දසුන් ශානක සඳහන් කළේ.

Dushmantha Chameera

මෙම තරගාවලිය තුළ පිතිකරණ ලැයිස්තුවේ අංක 06 ස්ථානයේ ක්‍රීඩා කිරීමට බොහෝ විට ඉඩකඩ ඇති බවයි දසුන් එහිදී වැඩිදුරටත් ප්‍රකාශ කර සිටියේ.

මේ අතර තරගවලියට පෙර ශ්‍රී ලංකා කණ්ඩායම සහභාගී වූ අවසන් පුහුණු සැසියට ඊයේ එක් වුණා.

ක්‍රෙග් අර්වින්ගේ නායකත්වය යටතේ මෙම තරගාවලිය වෙනුවෙන් එක්වන සිම්බාබ්වේ කණ්ඩායමේ ආරම්භක පිතිකරු රෙගින් චකබ්වා, ෂෝන් විලියම්ස්, සිකන්දර් රාසා මෙන්ම වෙලිංටන් මසකඩ්සා කෙරෙහි ශ්‍රී ලංකා කණ්ඩායම වැඩි අවදානයක් යොමුකරනු ඇති.

අද තරගය සිම්බාබ්වේ නායක අරවින්ගේ 100 වැනි එක්දින ජාත්‍යණ්තර තරගය වීමද විශේෂත්වයක්.