හමුදා ඇඳුම ඇදන් ජනතාවට පිස්සු නටන්න බැහැ

හමුදා ඇඳුම ඇදන් ජනතාවට පිස්සු නටන්න බැහැ

යුධ හමුදා සංග්‍රාමික කැලෑ ඇඳුම් සිවිල් ජනයාට සිවිල් ජීවිතයේ එදිනෙදා භාවිතය සඳහා යොදා ගත නොහැකි බව, යුද හමුදා ප්‍රධානීන් නැවත වරක් අවධාරණය කළා.

යුද හමුදා සංග්‍රාමික කැලෑ ඇඳුම් මැසීම සඳහා භාවිත කරන රෙදි යොදා ගෙන නිර්මාණය කරන ලද ගවුමක් ඇඳ ගත් තරුණ කාන්තාවක් නිකුත් කළ ටික් ටොක් විඩියෝවක් සම්බන්ධයෙන් යුද හමුදා උසස් නිලධාරීයෙකු ගෙන් සිදුකළ විමසීමකදී මෙම කරුණ පැහැදිලි කර තිබෙනවා.

මෙම combat cama හෙවත් යුධ හමුදා සංග්‍රාමික කැලෑ ඇඳුම් සිවිල් ජනතාවගේ භාවිතය සඳහා නිකුත් නොකරන බවත්, ඒවා ආනයනයට සහ මෙරට නිෂ්පාදනයට පවා විශේෂ බලපත්‍රයක් ලබාගත යුතු බවත්, අදාල උසස් හමුදා නිලධාරියා පැවසුවා.

එමෙන්ම, එම ඇඳුම් භාවිත කර මෙරට ආරක්ෂක හමුදාවන්ට අවශ්‍ය ඇඳුම් පැළඳුම් නිර්මාණය සහ නිෂ්පාදනය කිරීම සඳහා ද අවසර ලත් නිමි ඇඳුම් නිෂ්පාදන ආයතන ගණනාවක් ඇති බවත්, ඒවා ආරක්ෂක අමාත්‍යාංශයේ අධීක්ෂණය යටතේ ක්‍රියාත්මක වන බවත්, ඔහු පැවසුවා.

කෙසේවෙතත්, ඔහු වැඩිදුරටත් කියා සිටියේ, විශේෂ අවස්ථාවන් සහ විලාසිතා සන්දර්ශන සඳහා හෝ නිර්මාණ ඉදිරිපත් කිරීමේ අවස්ථාවන් සඳහා පමණක් විශේෂ අවසරයක් සහිතව එම රෙදි භාවිත කර නිර්මාණය කරන ලද ඇඳුම් නිර්මාණ භාවිත කළ හැකි බවයි.

එහෙත් එම ඇඳුම් නිර්මාණ හෝ එම නිෂ්පාදන අදාළ අවස්ථාවට පමණක් භාවිත කළ යුතු බවටත්, ඔහු අවධාරණය කළා.

මේ ආකාරයෙන් යුධ හමුදා කැලෑ ඇඳුම් අවභාවිත කරන සිවිල් පුද්ගලයින් සඳහා නීතිමය ක්‍රියාමාර්ග ගැනීමට අවශ්‍ය ප්‍රතිපාදන යුධ හමුදා ආඥා පනතේ ඇති බවත්, එම උසස් නිලධාරියා වැඩිදුරටත් කියා සිටියා.