අතීතය විපක්ෂයට අනාගතය ආණ්ඩුවට – අගමැති

අතීතය විපක්ෂයට අනාගතය ආණ්ඩුවට – අගමැති

කොරෝනා වංසගතය හේතුවෙන් අහිමිව ගිය දෙවසරක කාලය අමතක කර ඉදිරි තෙවසර පිළිබඳ අපේක්ෂා තබාගන්නැයි අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා පැවසීය.

ගෙවීගිය කාලය වැදගත් වන්නේ විපක්ෂයට බව කී අගමැතිවරයා ‘ගෙවුණු වසර දෙක කරගසාගෙනයාම එම විවේචකයන්ට භාරදී, අප අනාගතය භාරගනිමු’ යැයි ද සඳහන් කළේය.

අගමැතිවරයා මේ බව පැවසුවේ කොළඹ වරාය නැගෙනහිර පර්යන්තයේ දෙවන අදියරේ ඉදිකිරීම් කටයුතු ආරම්භ කිරීමේ උත්සවයට ඊයේ (12) පෙරවරුවේ එක්වෙමිනි.

අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා මෙසේ ද පැවසීය.

“කොවිඩ් අවස්ථාවේ සියලු වැඩ නවත්වා ඉදිරියට යන්න බෑ. දැවැන්ත අභියෝග තියෙද්දීත් සංවර්ධනය ගැන හිතන්නේ ඒකයි. අපිට මේ රට ගැන විශාල බලාපොරොත්තුවක් තියෙනවා. නිකරුණේ ගෙවිලා ගිය වසර දෙකක කාලය ගැන ළතවෙලා වැඩක් නෑ. ඒක වැදගත් විපක්ෂයට විතරයි. ආණ්ඩුවට වැදගත් වෙන්නේ ඉදිරි වසර තුනයි. ඒ වසර තුන තීරණාත්මකයි. අතීතය නෙවෙයි අනාගතයයි අපි භාරගන්න ඕනේ. ගෙවුණු අතීතය ආණ්ඩුවට ආපහු ගන්න බෑ. ඒක ආපහු අදින්න පුළුවන් වැඩ කළොත් විතරයි. අපි මුහුණ දී තියෙන තත්වය කටුකබව පිළිගන්න ඕනෑ. කොරෝනා වසංගතය අපිව ඇදලා දාලා තියෙන අගාධය මේ වරායට වඩා ගැඹුරුයි. ඒක හංගන්න ඕන නෑ.”