නව ඖෂධ කර්මාන්තශාලා තුනකට අවබෝධතා ගිවිසුම්

නව ඖෂධ කර්මාන්තශාලා තුනකට අවබෝධතා ගිවිසුම්

දේශීය ඖෂධ නිෂ්පාදනය ඉදිරි වසර පහ තුළ ඉහළම ඉලක්කය කරා ගෙනයාමේ වැඩපිළිවෙල යටතේ නව ඖෂධ කර්මාන්තශාලා තුනක් සඳහා වන අවබෝධතා ගිවිසුම අද (12) නාගරික සංවර්ධන අධිකාරියේදී රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාව හා නාගරික සංවර්ධන අධිකාරිය මගින් අත්සන් තැබුවා.

මෙම ගිවිසුම අත්සන් කරනු ලැබුවේ රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාවේ සභාපති වෛද්‍ය උත්පල ඉන්ද්‍රවංශ, නාගරික සංවර්ධන අධිකාරියේ සභාපති විශ්‍රාමික මේජර් ජනරාල් උදය නානායක්කාර යන මහත්වරුන් විසින් .

ශ්‍රී ලංකාවට අවශ්‍ය ඖෂධ මෙරටදීම නිෂ්පාදනය සඳහා සෞභාග්‍යයේ දැක්ම ප්‍රතිපත්ති ප්‍රකාශය යථාර්ථයක් කරමින්, රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාව මගින් සිදුකරනු ලබන ඖෂධ නිෂ්පාදනාගාරය සඳහා නාගරික සංවර්ධන අධිකාරිය සතු හොරණ, මිල්ලෑව වත්ත ඉඩම ලබාදීම සඳහා ගිවිසුම් අත්සන් කිරීම සඳහා නාගරික සංවර්ධන, අපද්‍රව්‍ය බැහැරලීම හා ප්‍රජා පවිත්‍රතා රාජ්‍ය අමාත්‍ය ආචාර්ය නාලක ගොඩහේවා, සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල, ඖෂධ නිෂ්පාදනය ,සැපයීම හා නියාමන රාජ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන,සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලේකම් මේජර් ජනරාල් වෛද්‍ය සංජීව මුණසිංහ, ඖෂධ නිෂ්පාදනය ,සැපයීම හා නියාමන රාජ්‍ය අමාත්‍යාංශයේ ලේකම් වෛද්‍ය සමන් රත්නායක යන මහත්වරුන් ඇතුළු පිරිසක් මෙම ගිවිසුම අත්සන් කිරීමේ අවස්ථාවට සහභාගි වී තිබෙනවා.

වැඩිමිලට පිටරටින් ගෙන්වන ඖෂධ වෙනුවට මෙරටදීම ඖෂධ නිෂ්පාදනය කර ගැනීම විදේශයන් කරා ඇදී යන මුදල් ඉතිරිකර ගනිමින් ගුණාත්මක භාවයෙන් හා විශ්වාශයෙන් ඖෂධ මෙරට ජනතාවට ලබාදීම අරමුුණු කර ගනිමින් මෙම ව්‍යාපෘතිය ක්‍රියාත්මක කරනවා.

මෙම ඖෂධ නිෂ්පාදන ව්‍යාපෘතිය නාගරික සංවර්ධන අධිකාරියට අයත් හොරණ මිල්ලෑව වත්තේ, අක්කර 64 ක භූමි ප්‍රමාණයක රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාව විසින් දීර්ඝ කාලීන බදු පදනම යටතේ ඉදිකෙරේ.

පිළිකා ඖෂධ සහ විකලාංග ඖෂධ නිෂ්පාදන කර්මාන්ත ශාලා 02 හි නිෂ්පාදන ක්‍රියාවලිය පළමුව ආරම්භ කිරීමට නියමිතව තිබේ. 2022 ජූනි මාසයේ දී මෙම ඖෂධ නිෂ්පාදන ඉදිකිරීමේ කර්මාන්තශාලාවේ කටයුතු ආරම්භ කෙරෙත අතර 2023 වසර තුළ ඉදිකිරීම් අවසන් කර 2024 වසරේ සිට ඖෂධ නිෂ්පාදනය ආරම්භ කිරීම සිදු කිරීම අපේක්ෂා කෙරේ.