කාබනික වගාවට‍ සීයට සියයක් යොමුවීම තනිව කළ නොහැකියි

කාබනික වගාවට‍ සීයට සියයක් යොමුවීම තනිව කළ නොහැකියි

රට සීයට සීයක් කාබනික වගාවට රැගෙනයාම තනිව කළ හැකි දෙයක් නොවන බව රජය මේ වන විට ඉතා හොඳින් අවබෝධ කරගෙන ඇතැයි කෘෂිකර්ම රාජ්‍ය අමාත්‍ය ශෂීන්ද්‍ර රාජපක්‍ෂ මහතා ඊයේ (10) පැවසීය.

එමෙන්ම ගොවිජන සේවා දෙපාර්තමේන්තු නිලධාරීන්ට හා ගොවිජනතාව මේ පිළිබඳව අවශ්‍ය දැනුම ලබාදීමේදීත් අඩුපාඩු රාශියක් සිදුවූ බව රාජ්‍ය ඇමතිවරයා සඳහන් කළේය.

රාජ්‍ය අමාත්‍යවරයා මේ බව පැවසුවේ කොළඹ හෙක්ටර් කොබ්බෑකඩුව ගොවි කටයුතු පර්යේෂණායතනයේදී පැවති කාබනික වගාව ප්‍රචලිත කිරීමේ වැඩසටහනකට සහභාගී වෙමිනි.

කෙසේ වුවත් ඉදිරි යල කන්නයට මුහුණදීමේදී කාබනික වගාව සාර්ථක කරගැනීමට රජය විශාල උත්සාහයක් දරණ බව කී ශෂීන්ද්‍ර රාජපක්‍ෂ මහතා ඒ සඳහා රාජ්‍ය නොවන ආයතන, පෞද්ගලික ආයතන, රජයේ මේ හා සම්බන්ධ ආයතන මෙන්ම ත්‍රිවිධ හමුදාවත් සම්බන්ධ කරගෙන කටයුතු කරන බව ද ප්‍රකාශ කළේය.

චීන පොහොර නැවක් නැවත එනවා දැයි මෙහිදී මාධ්‍යවේදියෙකු ඇසූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් ශෂීන්ද්‍ර රාජපක්ෂ මහතා පැවසුවේ රජය චීනයෙන් ඇනවුම් කළේ රටට, පොළවට අහිතකර නොමැති හිතකර පොහොරක් බවත්, එම පොහොර ගුණාත්මයෙන් තොර ඒවා බව මෙරටදීත්, තත්වය හොඳ ඒවා බව සිංගප්පූරුවේදීත් හඳුනාගැනීම විශාල ප්‍රශ්නයක් බවත්ය. ඒ ගැන පරීක්‍ෂණයක් කරන බව ද රාජ්‍ය ඇමතිවරයා පැවසීය.

එම පොහොර නැව ආපසු හරවා යැවූ නමුත්,ගනුදෙනුවේදී එකඟ වූ පරිදි ගුණාත්මක පොහොර ලබාදෙන ලෙස යළි නිර්දේශ කර ඇති බවත්, ඒ අනුව ගුණාත්මක පොහොර නැවත ලැබුණොත් භාරගැනීමට සූදානම් බවත් ශෂීන්ද්‍ර රාජපක්‍ෂ මහතා කීවේය.

ශ්‍රී ලංකාවෙන් ප්‍රතික්‍ෂේප වූ පොහොර භාවිතයට සුදුසු බව සිංගප්පූරුවේදී ඔප්පුවීම තුළ නොදකින ප්‍රශ්න රාශියක් ඇති බවත්, ඒ අනුව යම් වරදක් වී ඇතැයි පෙනෙන බවත් හෙතෙම සඳහන් කළේය.