චීන විදේශ ඇමති සහ ජනපති අතර හමුවේදී සුවිශේෂී තීරණ රැසක් ගනී

චීන විදේශ ඇමති සහ ජනපති අතර හමුවේදී සුවිශේෂී තීරණ රැසක් ගනී

චීනය සහ ශ්‍රී ලංකාව අතර 65 වසරක රාජ්‍යතාන්ත්‍රික සබඳතා තවදුරටත් ශක්තිමත් කරමින් මහජන චීන සමූහාණ්ඩුවේ විදේශ අමාත්‍ය හා රාජ්‍ය උපදේශක මණ්ඩලයේ සාමාජික වැන්ග් යී (Wang Yi) මහතා සහ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අතර හමුවක් ඊයේ (09) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේදී පැවැත්වුණා.

චීන විදේශ අමාත්‍යවරයාගේ පැමිණීම ගෞරවයෙන් පිළිගත් ජනාධිපතිතුමා දෙරට අතර ඓතිහාසික සමීප සබඳතා සිහිපත් කරනු ලැබුවා.

කොවිඩ් වසංගතයට මුහුණදීමේදී චීනයෙන් ලැබුණු ද්‍රව්‍යමය හා මූල්‍ය ආධාර වෙනුවෙන් ජනාධිපතිතුමා ශ්‍රී ලංකා රජයේත්, ජනතාවගේත් ස්තුතිය මෙහිදී චීන විදේශ අමාත්‍යවරයා වෙත පිරිනමනු ලැබුවා.

දෙරට අතර මිතුදම ආවර්ජනය කළ වැන්ග් යී මහතා නැවත වතාවක් ශ්‍රී ලංකාවට පැමිණීමට හැකි වීම පිළිබඳ තමා සතුටට පත් වන අතර සමීප මිත්‍රයෙකු ලෙස චීනයේ සහාය සෑම විට ම ලබා දෙන බවද සඳහන් කළා.

කොවිඩ් එන්නත්කරණ වැඩපිළිවෙළ සාර්ථකව පවත්වාගෙන යාම සඳහා ශ්‍රී ලංකාවට අඛණ්ඩව සයිනොෆාම් එන්නත් ලබා දෙමින් දැක්වූ සහයෝගය වෙනුවෙන් ද ජනාධිපතිතුමා චීන රජයට තම කෘතවේදීත්වය පළ කරනු ලැබුවා.

නව සාමාන්‍යකරණය යටතේ සංචාරකයන් සඳහා ශ්‍රී ලංකාව විවෘත කර තිබෙන බැවින් ජෛව බුබුළක් තුළ රඳවා ගනිමින් චීන සංචාරකයන් මෙරටට ගෙන්වා ගැනීමට සහාය වන ලෙස ජනාධිපතිතුමා වැන්ග් යී මහතාගෙන් ඉල්ලා සිටි බව සඳහන්.

කොවිඩ් වසංගතය හමුවේ පැන නැඟී ඇති ආර්ථික අර්බුදයට විසඳුමක් ලෙස ණය ආපසු ගෙවීම ප්‍රතිව්‍යුහගත කිරීමට ඇති හැකියාව කෙරෙහි අවධානය යොමු කළ හැකි නම් එය මෙරටට විශාල සහනයක් වනු ඇතැයි ජනාධිපතිතුමා විසින් පෙන්වා දෙනු ලැබුවා.

එමෙන් ම චීනයෙන් සිදු කරන ආනයනවලදී සහනදායී වෙළෙඳ ණය ක්‍රමයක් ලබා ගැනීමට හැකි වෙතොත් බාධාවකින් තොරව කර්මාන්ත පවත්වාගෙන යාමට එය ඉවහල් වනු ඇතැයි ද ජනාධිපතිතුමා සඳහන් කරනු ලැබුවා.

චීනයට පැමිණෙන ලෙස ජනාධිපතිතුමාට ආරාධනා කළ වැන්ග් යී මහතා එය ඉතා නුදුරු දිනකදීම සිදු වනු ඇතැයිද විශ්වාසය පළ කර සිටියා.