ශ්‍රී ලංකන් ගුවන් යානාවලට සෞදියෙන් තෙල් ණයට ඉල්ලයි

ශ්‍රී ලංකන් ගුවන් යානාවලට සෞදියෙන් තෙල් ණයට ඉල්ලයි

ශ්‍රී ලංකන් ගුවන් සමාගමට ඉන්ධන සඳහා ඩොලර් ණය ගෙවීමට සෞදි රජය සමඟ සාකච්ඡා ආරම්භ කර තිබේ.

සංචාරක හා ගුවන් සේවා අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා සඳහන් කරන්නේ ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ මූල්‍ය තත්ත්වය සහ එහි ඉන්ධන බිල්පත් ගෙවීම සඳහා සහායක් ලබා ගැනීමට සෞදි රජය වෙත යාමට තීරණය කල බවයි.

කෙටිකාලීන හෝ දිගුකාලීන ණය පහසුකමක් ලබා ගැනීම මත මෙම සාකච්ඡා සිදු කරන බවත් ලබාගන්නා ණය මුදල කොපමණද යන්න තවමත් තීරණය කර නැති බවත් ඔහු සඳහන් කළේය.

ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව ශ්‍රී ලංකන් ගුවන් සමාගමට ලබා දෙන ඉන්ධන සඳහා රුපියල් වෙනුවට ඩොලර් ඉල්ලා සිටීම මත මෙම පියවර ගෙන තිබේ.

මේ පිළිබඳව සංස්ථාව සමඟ සාකච්ඡා පැවැත්වෙන බවද අමාත්‍යවරයා පැවසීය.

ශ‍්‍රී ලංකන් ගුවන් සමාගම ඉන්ධන වෙනුවෙන් තෙල් සංස්ථාවට රුපියල් බිලියන 330 ක මුදලක් ණය වී තිබේ.