කොළඹ සිට කන්කසන්තුරේට සනීපෙට යන්න දුම්රියක්

කොළඹ සිට කන්කසන්තුරේට සනීපෙට යන්න දුම්රියක්

කොළඹ සිට කන්කසන්තුරය දක්වා ගමන් ගන්නා මගීන්ට සියලු පහසුකම් සහිත සුබෝපභෝගී දුම්රිය සේවාවක් අද(09) සිට  ආරම්භ කෙරෙණි.

මෙම දුම්රිය සෑම දිනකම ගල්කිස්ස දුම්රිය ස්ථානයෙන් පෙරවරු 5.10ට ආරම්භ කොට දහවල් 12.17 වන විට කන්කසන්තුරය දුම්රිය ස්ථානය දක්වාත් එදිනම ප.ව. 1.15ට කන්කසන්තුරය දුම්රිය ස්ථානයෙන් ආරම්භ කොට රාත්‍රී 8.25 වන විට ගල්කිස්ස දුම්රිය ස්ථානය දක්වාත් ධාවනය වීමට නියමිතය.

නවීන තාක්ෂණයෙන් යුත් ඉන්දියාවේ නිෂ්පාදිත මෙම දුම්රියේ මැදිරි 10 ක්  සහ බලවේග එන්ජින් 02ක් ඇති අතර සියලුම මැදිරි වායු සමනය කර ඇත. එමෙන්ම මගී ජනතාවට අවශ්‍ය  සුව පහසු ආසන, ආහාර පාන ලබාගැනීමට භෝජනාගාර රථයක්, රූපවාහිනී සේවා පහසුකම්, නවීන වැසිකිලි පහසුකම් වලින් මෙම දුම්රිය සමන්විත වේ.


දුම්රිය සේවාවේ මංගල ගමන ආරම්භ කිරීම ප්‍රවාහන අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මියගේ ප්‍රධානත්වයෙන් ගල්කිස්ස දුම්රිය ස්ථානයේදී සිදු කෙරිණ.

ඉන්පසු අමාත්‍යවරිය ගල්කිස්ස දුම්රිය ස්ථානයේ සිට කොළඹ කොටුව දුම්රිය ස්ථානය දක්වා දුම්රියෙන් ගමන් කල අතර මෙම අවස්ථාවට දුම්රිය සමාන්‍යාධිකාරි ධම්මික ජයසුන්දර ඇතුළු නිළධාරිහු පිරිසක් සහභාගී වූහ.

මෙම  දුම්රිය සේවාව තුළින් උතුරුකරය බලා යන දෙස් විදෙස්  සංචාරකයින්ට  උපරිම සැප පහසු ගමනක් ලබා ගැනීමට හැකිව ඇති බවත් අමාත්‍යවරිය එහිදී සඳහන් කළේය.

ඉදිරියේදි මෙවැනි සුඛෝපභෝගි සේවාවන් කාර්යාල දුම්රිය සේවාවන්ට එක් කිරිමට මේ වනවිට දුම්රිය දෙපාර්තමේන්තුව සැලසුම් කර ඇති බවත් ඇය සඳහන් කළාය.

ඒ අනුව  කොළඹට ආසන්න ප්‍රධාන නගරවල සිට වායුසමනය කල මැදිරි සහිත දුම්රිය සේවා කිහිපයක්  ඉදිරි සති 02ක් තුළ ආරම්භ කිරිමට කටයුතු කරන බවත් අමාත්‍යවරිය  තවදුරටත් අමාත්‍යවරිය තව දුරටත් පැවසුවාය.

මෙම දුම්රිය ගල්කිස්ස, දෙහිවල, වැල්ලවත්ත, බම්බලපිටිය,කොටුව,පොල්ගහවෙල, කුරුණෑගල, අනුරාධපුරය,වව්නියාව,කිලිනෝච්චිය,කොඩිකාමම්,යාපනය,කොණ්ඩාවිල්,චුන්නාකම්, සහ කන්කසන්තුරය යන දුම්රිය ස්ථානවල නවත්වන බව දුම්රිය දෙපාර්තමේන්තුව පවවයි. 

මෙහි ප්‍රවේශපත්‍රයක මිල ගල්කිස්ස සිට කන්කසන්තුරය දක්වා රු.1700, ගල්කිස්සේ සිට වව්නියාව රු.1500, ගල්කිස්සේ සිට අනුරාධපුරය දක්වා රු.1200කි.