සහන දුන්නේ ඡන්දයක් බලා ගෙන නෙවෙයි

සහන දුන්නේ ඡන්දයක් බලා ගෙන නෙවෙයි

පළාත් සභා මැතිවරණය පැවැත්වීම සම්බන්ධයෙන් කිසිම රටකින් බලපෑමක් එල්ල වී නැති බවත්, ජනතාවට සහන පැකේජයක් ලබාදුන්නේ කඩිනමින් පළාත් සභා මැතිවරණය පැවැත්වීමේ අරමුණින් නොවන බවත් සම කැබිනට් ප්‍රකාශක, බලශක්ති අමාත්‍ය උදය ගම්මන්පිල මහතා පැවසීය.

පළාත් සභා මැතිවරණය පිළිබඳ කිසිම සාකච්ඡාවක් මේ වන විට ආණ්ඩුව තුළ නැතැයි කී ඇමතිවරයා මැතිවරණය පැවැත්වීමේදී විදේශ රටවලින් එන බලපෑම්වලට යටත්වෙන්නේ නැතැයි ද සඳහන් කළේය.

සහන පැකේජය ලබාදීමේ එකම අරමුණ උද්දමනයෙන් පීඩාවට පත් ජනතාවට සහනයක් ලබාදීම පමණක් බව ද ඇමතිවරයා කීවේය.

ඇමති ගම්මන්පිල මහතා මේ බව පැවසුවේ රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේදී ඊයේ (4) පැවති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවේදී මාධ්‍යවේදියකු නැගූ පැනයකට පිළිතුරු දෙමිනි.