ශිවන්‍යා සොයා දැරියන් තිදෙනෙකු ඉන්දියාවට යන්න යයි

ශිවන්‍යා සොයා දැරියන් තිදෙනෙකු ඉන්දියාවට යන්න යයි

රූපවාහිනි නාලිකාවක දිනපතා විකාශය වන ප්‍රසිද්ධ ඉන්දියානු ටෙලි නාට්‍යයක චරිත දෙකක් වන ශිවන්යා සහ ෂේෂා සියසින් දැක බලා ගැනීම සදහා ඉන්දියාවට යාමට නිවසෙන් පැන ගිය ගැහැණු දරුවන් තිදෙනකු හොරොව්පොතාන නගරයේ දී ඊයේ (31) දහවල් සොයාගත් බව හොරොව්පොතාන පොලිසිය කියයි.

දරුවන්ගේ දෙමාපියන් විසින් පොලිසියට සිදුකරණ ලද පැමිණිල්ලකට අනුව සිදුකරන ලද විමර්ශනයකදී එලෙස පොලිස් භාරයට ගනු ලැබුවේ හොරොව්පොතාන, පහල කුබුගොල්ලෑව,ඉදිපිටිය ප්‍රදේශයේ පදිංචි අවුරුදු 8, 12, සහ 13 යන වයස් සීමාවන්වල පසුවන ගැහැනු දරුවන් තිදෙනෙකි.

ඊයේ (31) අලුයම 4:30 ට පමණ මෙම දරුවන් දෙමව්පියන්ට හොරෙන් නිවසින් පැන ගොස් ඇති බව පොලිසිය කියයි.

කලක සිට ශිවන්යා බැලීමට තමන් සැලසුම් කර තිබුණ බවත් ඔවුන් සිටින්නේ ඉන්දියාවේ බැවින් ඉන්දියාවට යෑමට ආසන්නම නගරය යාපනය බව යහලුවෙකු පැවසූ නිසා මුලින්ම යාපනය නගරයට ගොස් බෝට්ටුවකින් ඉන්දියාවට යාම තම අරමුණ වූ බවත් පොලිස් භාරයට ගත් දරුවන් ප්‍රශ්න කිරීමේ දී පවසා ඇත. ඊට පෙර දෙමවුපියන්ගේ ඡංගම දුරකතන භාවිත කර ඉන්දියාව පිහිටි ස්ථානය පිළිබඳ අවබෝධයක් තමන් ලබා සිටි බවද පවසා ඇති ඔවුන් ඒ සඳහා දීර්ඝ කාලයක සිට මුදල් එකතු කර ලග තාබාගෙන සිටි බවද පොලිසියට පවසා තිබේ.

පොලිස් භාරයට ගත් දරුවන් ඔවුන්ගේ දෙමව්පියන් ගෙන්වා දැඩිව අවවාද කිරීමෙන් පසු යලි භාර දිමට කටයුතු කර තිබූ අතර ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක නවීන් ඉන්ද්‍රජිත් දායානන්ද මහතාගේ අධීක්ෂණය යටතේ අපරාධ අංශයේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක ගාමිණී ජයවර්ධන, ළමා හා කාන්තා කාර්යාංශයෙ ස්ථානාධිපතිනි සැරයන් (1801) රංජනී,(35911) පුෂ්පකුමාර,(55687) රාජපක්ෂ,කාන්තා පොලිස්(8595) සංජීවනී යන නිලධාරීහු සිද්ධියට අදාළ පරීක්ෂණ සිදු කළහ