එන්නත් කාඩ්පත අනිවාර්ය කිරීම සති දෙකකින් කල්යයි

එන්නත් කාඩ්පත අනිවාර්ය කිරීම සති දෙකකින් කල්යයි

පොදු ස්ථානවලට ප්‍රවේශ වීමේ දී කොරෝනා ප්‍රතිශක්තීකරණ එන්නත් කාඩ්පත අද සිට අනිවාර්ය කර තිබුණ ද එය බලාත්මක වීමට තවත් සතිදෙක තුනක් ගතවනු ඇති බව සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල ප්‍රකාශ කළා.

මේ අතර, අද සිට ලබන 31 වැනි දා තෙක් බලාත්මක නව සෞඛ්‍ය මාර්ගෝපදේශ ඊයේ නිකුත් කෙරුණු අතර, ඒ යටතේ 5 ශ්‍රේණීයේ සිට ඉහළට 50%ක සාමාන්‍ය ධාරිතාවකට යටත්ව උපකාරක පන්ති පැවැත්වීමට අවසර ලබා දී තිබෙනවා.

ඒ අනුව විවාහ මංගල උත්සව සඳහා අදාළ උත්සව ශාලාවේ ආසන ධාරිතාවයෙන් 50% කට අවසර හිමිව තිබෙන අතර එළිමහන් ස්ථාන විවාහ මංගල උත්සව පැවැත්වීම සඳහා යොදා ගැනීමට කටයුතු කරන්නේ නම් එය වඩාත් උචිත බවයි නව මාර්ගෝපදේශ මාලාවේ දැක්වෙන්නේ.

ශාලාවන් හී සාමුහික වශයෙන් එක්රැස් වීම් වලදී සාමාන්‍ය ධාරිතාව 50%ක උපරිමයකටත්, පුද්ගලික නිවෙස්වල එක්රැස්වීම්වල දී පුද්ගලයන් 10ක උපරිමයකට යටත්වත් අවසර හිමිවනවා.

එමෙන්ම, අවමංගල කටයුතු පැය 24ක් තුළ අවසන් කටයුතු කළ යුතු අතර සහභාගී විය හැකි උපරිමය 30ක් පමණයි.

මේ අතර, එන්නත් කාඩ්පත අනිවාර්ය කිරීම අද සිට ක්‍රියාත්මක බවට මීට පෙර සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල ප්‍රකාශ කර තිබුණා.