දුම්කොළ භාවිතයෙන් දිනකට මරණ 60ක්

දුම්කොළ භාවිතයෙන් දිනකට මරණ 60ක්

දුම්කොළ භාවිතය නිසා ශ්‍රී ලංකාවේ දිනකට පුද්ගලයන් 60 දෙනකු මිය යන බව දුම්කොළ හා මධ්‍යසාර පිළිබඳ ජාතික අධිකාරියේ සභාපති වෛද්‍ය සමාධි රාජපක්ෂ මහතා පැවසීය.

දුම්වැටිවලට අදාළව සකස් කළ මිල සූත්‍රය සම්බන්ධයෙන් දැනුම්වත් කිරීම සඳහා රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවති මාධ්‍ය හමුවකදී ඒ මහතා ඊයේ (30) මේ බව කීය.

ගෝලීය වශයෙන් දුම්කොළ භාවිතය නිසා වසරකට මිලියන 8ට වැඩි දෙනකු මිය යන බවත් දුම්කොළ භාවිත කරන්නන්ගෙන් අඩක් පමණ අකාලයේ මියයන බවත් රාජපක්ෂ මහතා පැවසීය.

වසරකට දුම්කොළ හේතුවෙන් මියයන මිලියන 8න් මිලියන 7ක් පමණ ඍජු දුම්පානයෙන් මිය යන බව කියා සිටි සභාපතිවරයා දුම් නොබොන්නන් මිලියන 1.2ක් අක්‍රිය දුම් පානයෙන් මිය යන බව ද වැඩිදුරටත් පැවසීය.