ජනාධිපති කිරිවෙහරට යයි

ජනාධිපති කිරිවෙහරට යයි

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ අද පස්වරුවේ කිරිවෙහෙර රජමහා විහාරාධිපති පූජ්‍ය කොබවක ධම්මින්ද හිමියන් බැහැ දැක ආශිර්වාද ලබා ගත්තා.

ලබන්නා වූ නව වසරට සෙත් පතා ඓතිහාසික කතරගම පූජා භූමියේ පැවැත්වෙන ආගමික වතාවත්වලට සහභාගී වීමටයි ජනාධිපතිවරයා කතරගම පුදබිමට පැමිණ ඇත්තේ.

අනතුරුව කිරිවෙහෙර රජමහා විහාරස්ථානය වෙත පැමිණි ජනාධිපතිවරයා ධම්මින්ද හිමියන් බැහැ දැක උන්වහන්සේගේ සුවදුක් විචාරමින් කෙටි පිළිසඳරක නිරත වූ බවයි ජනාධිපති මාධ්‍ය අංශය සදහන් කළේ.

අමාත්‍ය මහින්ද අමරවීර, රාජ්‍ය අමාත්‍ය ශෂීන්ද්‍ර රාජපක්ෂ, ඌව පළාත් ආණ්ඩුකාර ඒ.ජේ.එම්. මුසම්මිල්, දකුණු පළාත් ආණ්ඩුකාර විලී ගමගේ සහ රුහුණු කතරගම මහා දේවාලයේ බස්නායක නිලමේ දිශාන් ගුණසේකර ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියා.