ගෑස් හිඟය සමනයට තවත් සති 3ක්

ගෑස් හිඟය සමනයට තවත් සති 3ක්

පවතින ගෑස් හිඟය යම් මට්ටමකට හෝ සමනය කිරීමට තවත් සති තුනක කාලයක් ගතවනු ඇතැයි ලිට්රෝ ගෑස් සමාගමේ සභාපති තෙෂාර ජයසිංහ පැවසීය.

අලුතින් පනවා ඇති රෙගුලාසිවලට අනුව දැනට ගෑස් නිකුත් කරන අතර ඒ සඳහා දැනට පවතින යන්ත්‍ර සුසර කිරීමේදී යම් කාලයක් ගතවන බව ද සභාපතිවරයා සඳහන් කළේය.

එම ක්‍රියාවලිය මගින් දෛනික නිෂ්පාදන ධාරිතාව සියයට 50කින් අඩු වී ඇති බව ද හෙතෙම කීවේය.

ඒ අනුව වෙළෙඳපොළ තුළ දින අටකට පමණ සරිලන ලෙස තිබූ ගෑස් නැවත සමාගම් වෙත ගෙන්වීම මෙම හිඟයට හේතු වී තිබේ.

එමෙන්ම ගෑස් සම්බන්ධව ගැටලුකාරී තත්ත්වය ඇති වූයේ වැඩි ඉල්ලුමක් පවතින උත්සව සමයේදී වන අතර මෙම තදබදය සමනය කර ගැනීම සඳහා වැඩි සේවකයන් පිරිසක් යොදවා ඇති බව ද සභාපතිවරයා සඳහන් කළේය.
මේ අතර ගෑස් මෙට්‍රික් ටොන් 3,700 ක් රැගත් නෞකාවක් ජනවාරි 03 වැනිදා මෙරටට පැමිණීමට නියමිතය.

එම නෞකාව මෙරටට පැමිණීමෙන් පසු එහි අඩංගු එතිල් මර්කැප්ටාන් ප්‍රමාණය සහ සංයුතිය සම්බන්ධයෙන් පරීක්ෂාවක් සිදුකිරීමෙන් අනතුරුව එය ගොඩබෑම සඳහා අවසර ලැබෙන බව ද සභාපතිවරයා සඳහන් කළේය.