ගතින් දුබල වුවත් සිතින් ශක්තිමත් දිරිය දියණියගෙන් අලුත් පාඩමක්

ගතින් දුබල වුවත් සිතින් ශක්තිමත් දිරිය දියණියගෙන් අලුත් පාඩමක්

සිය ජීවිතයෙන් අඩකටත් වඩා වැඩි කාලයක් ගිලන් ඇඳක ජීවත් වෙමින් සිටයදී තමන් විසින්ම රචිත නවකතාවක් එළිදක්වා එයින් ලද ආදායමෙන් හුස්ම ගැනීමේ අපහසුතාවෙන් පෙළෙන මිනිසුන් වෙනුවෙන් උදව් උපකාර කළ තරුණියක් පිළිබඳ පුවතක් කැස්බෑව ප්‍රදේශයෙන් වාර්තා වනවා.

ඇය නමින් පවනි මධුභාෂිනී

25 වැනි වියේ පසුවන ඇය වසර 13ක සිට ගිලන්ව ඇඳක මත ජීවත් වන්නේ ශ්වසන යන්ත්‍රයක් ආධාරයෙනි.

දරුවාට හැදිලා තිබුණා රෝගයක්. අද වෙනකන් බටහිර වෛද්‍ය ක්‍රමයෙන් ප්‍රතිකාරයක් මේකට හොයා ගන්න බැරි වෙලා තියෙනවා. හොඳට අධ්‍යාපනය කරපු දරුවෙක්. උපතින් කිසිම අසනීපයක්, ආබාධයක් පෙන්නුම් කලේ නැහැ. එකවරම දරුවට කණ ඇසීමේ අපහසුතාවයක් ඇති වුණා. ඒකත් අපි හොයා ගත්තේ ටීවී එකේ වොලියුම් වැඩි කරලා බලද්දී. ඊට පස්සේ මාසයක් විතර යනකොට දරුවට කන්න බැරුව ගියා. අවසානයේදී දරුවට කතා කරන්න බැරි වුණා.”

ක්‍රමක්‍රමයෙන් දුර්වල වූ පවනිට මේ රෝගී ත්ත්වයත් සමග අධ්‍යාපනය ද මග හැරෙනවා. නමුත් ඇය අතිශය ආදරය කළ ලේඛන කලාව සියලු බාධක මැද අඛන්ඩව කරගෙන ගියා.

ඒ අනුව තම සිහිනයක් වූ තමන්ගේම පොතක් ලියන්නට ඇයට පසුගියදා හැකි වුණා.

ඒ “රුවල් නැවේ සතුට බිඳුණු චාරිකාව” නමැති නවකතාවයි.

ඇය මෙම කතා පොත නිර්මාණය කළේද තමන් වගේම ස්වසන අපහසුතා ඇති තවත් රෝගීන් වෙනුවෙන්.

පොත අළෙවියෙන් ලද මුදල සහ තවත් පරිත්‍යාගශීලීන්ගෙන් මුදල් එකතු කරගනිමින් පවනි පසුගියදා නිකවැරටිය මූලික රෝහලට රුපියල් ලක්ෂ 12ක් වටිනා වෙන්ටිලේටර් යන්ත්‍රයක් පරිත්‍යාග කළා.