යුක්තියට ප්‍රවේශයක් නමින් විශේෂ ජංගම සේවාවක්

යුක්තියට ප්‍රවේශයක් නමින් විශේෂ ජංගම සේවාවක්

අධිකරණ අමාත්‍යාංශය හා බන්ධනාගාර ප්‍රතිසංස්කරණ හා සිරකරුවන් කළමණාකරණ රාජ්‍ය අමාත්‍යාංශය යටතේ පවතින ආයතනවලින් සිදු වන මහජන සේවාව මහජනතාවට සමීප කරවමින් යුක්තියට ප්‍රවේශයක් (ACCESS TO JUSTICE ) නමින් විශේෂ ජංගම සේවාවක් දීප ව්‍යාප්තව පැවැත්වීමට අධිකරණ අමාත්‍යාංශය විසින් කටයුතු යොදා තිබෙනවා.

මෙම ජංගම සේවාව දිවයිනේ සියළුම පළාත් ආවරණය වන පරිදි සිදු කිරීමට සැලසුම් කර ඇති අතර උතුරු පළාත මූලික කර ගනිමින් අදාළ කටයුත්ත ආරම්භ කිරීමට නියමිතව තිබෙනවා.

විශේෂයෙන් මෙහිදී පොදු ජනතාවට බලපාන නීතින් පිලිබඳව ජනතාව දැනුවත් කිරීම, සංහිඳියාව පිළිබදව ජනතාවට අවබෝධයක් ලබාදීම, මත් ද්‍රව්‍ය භාවිතයෙන් වන අයහපත් ප්‍රතිඵල පිළිබඳව තරුණ ප්‍රජාව දැනුවත් කිරීම හා උතුරු පළාතේ ජනතාවට පවතින ඉඩම් ගැටළු උප්පැන්න විවාහ හා මරණ සහතික ලබා ගැනීම ඒ මොහොතේම සිදු කර ගැනීම වැනි පහසුකම් ද මෙම ජංගම සේවාව තුළින් සිදු කිරීමට නියමිතව ඇති බවද සඳහන්.

මෙම ජංගම සේවාව සදහා අමාත්‍යාංශ දෙක යටතේ පවතින රාජ්‍ය ආයතනවලට අමතරව විවිධ රාජ්‍ය ආයතනවල සහාය ලබා ගන්නා ආකාරය පිළිබඳව මෙහිදී සාකච්ඡා කළ අතර රැකියා ලබා ගැනීමේදී යොමු විය යුතු ආකාරය පිළිබඳව තරුණ ප්‍රජාව දැනුවත් කිරීමට ද කටයුතු යොදා තිබෙනවා.

මේ සඳහා උතුරු පළාතේ දිස්ත්‍රික්ක පහෙහිම දිස්ත්‍රික් ලේකම්වරුන්, ප්‍රාදේශිය ලේකම්වරුන් හා ග්‍රාම නිලධාරීන් ඇතුළු අනෙකුත් රාජ්‍ය නිලධාරීන්ගේ සහාය ලබා ගැනීමට නියමිතයි.

මෙහිදී අදහස් පළ කරමින් ගරු අධිකරණ අමාත්‍ය ජනාධිපති නිතිඥ අලි සබ්රි මැතිතුමා සදහන් කළේ උතුරු පළාතේ ජනතාවට උපරිම ආකාරයේ සේවාවක් ලබා දිය හැකි පරිදි ජංගම සේවාව පැවැත්විය යුතු බවයි.

විශේෂයෙන් දැනුවත් කිරීමේ වැඩ සටහන් සදහා භාෂාත්‍රයම පිළිබදව දැනුමක් පවතින නිලධාරීන් යොමුකිරීමට කටයුතු කරන ලෙසත්, ජාතීන් අතර සංහිදියාව සමගිය සහෝදරත්වය ඇති වන ආකාරයේ වැඩ සටහන් පැවැත්වීම සිදු කළ යුතු බවත්, අමාත්‍යතුමා සදහන් කළා.

එම ජංගම සේවාව තුළින් උපරිම ආකාරයේ ජනතා සේවාවක් ලබාදීම පිළිබදව වූ සාකච්ඡාවක් අධිකරණ අමාත්‍ය ජනාධිපති නීතිඥ අලි සබ්රි මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් අධිකරණ අමාත්‍යාංශයේ ලේකම් එම්.එම්.පී.කේ.මායාදුන්නෙ, බන්ධනාගාර ප්‍රතිසංස්කරණ හා සිරකරුවන් කළමණාකරණ රාජ්‍ය අමාත්‍යාංශයේ ලේකම් විශ්‍රාමික මේජර් ජනරාල් වී.ආර්. සිල්වා යන මහත්වරුන්ගේ සහභාගිත්වයෙන් අමාත්‍යාංශ දෙක යටතේ පවතින රාජ්‍ය ආයතන ප්‍රධානීන්ගේ සහභාගිත්වයෙන් ඊයේ (2021.12.28) පෙරවරුවේ අධිකරණ අමාත්‍යාංශයේදී පැවැත්වූ බවයි අධිකරණ අමාත්‍යංශය නිවේදනය කළේ.

මේ සඳහා මාර්ගගත ක්‍රමවේදය ඔස්සේ උතුරු පළාතේ ප්‍රාදේශීය රාජ්‍ය නිලධාරීන් ද එක්වුණා.