විදේශිකයන් සමඟ විවාහ වෙන්න, ආරක්ෂක නිශ්කාෂණ වාර්තාවක් ඕනේ

විදේශිකයන් සමඟ විවාහ වෙන්න, ආරක්ෂක නිශ්කාෂණ වාර්තාවක් ඕනේ

විදේශිකයෙකු හා විවාහවීමට අපේක්ෂා කරන ඕනෑම ශ්‍රී ලාංකික පුරවැසියෙකු ඒ සඳහා ආරක්ෂක අමාත්‍යාංශයෙන් නිශ්කාෂණ වාර්තාවක් ලබාගත යුතු බවට චක්‍රලේඛයක් නිකුත් කර තිබෙනවා.

රෙජිස්ට්‍රාර් ජනරාල් දෙපාර්තමේන්තුව මගින් සියලුම දිස්ත්‍රික් රෙජිස්ට්‍රාර්වරුන් වෙත නිකුත් කර ඇති එම චක්‍රලේඛයට අනුව නව රෙගුලාසි ලබන වසරේ ජනවාරි 1 වනදා සිට ක්‍රියාත්මක කෙරෙනු ඇති.

එහෙත් විදේශිකයන් සහ ශ්‍රී ලාංකිකයන් අතර සිදුවන විවාහ ලියාපදිංචි කිරීමෙන් ජාතික ආරක්ෂාවට ඇතිවන බලපෑම සහ උද්ගතවිය හැකි සමාජයීය ගැටළු සම්බන්ධව ආරක්ෂක අමාත්‍යාංශය සහ ආගමන සහ විගමන දෙපාර්තමේන්තුව සාකච්ඡා කර ඇති කරගත් එකඟතාවකට අනුව විදේශීය පාර්ශවය සම්බන්ධයෙන් මෙම ආරක්ෂක නිෂ්කාෂණ වාර්තාව ලබා ගැනෙන බවයි අදාළ චක්‍රලේඛයේ දැක්වෙන්නේ.

ඒ අනුව එවැනි විවාහයකදී විදේශීය පාර්ශවය විසින් මාස හයක් ඇතුළත තම රටේ ආරක්ෂක බලධාරීන් වෙතින් ලබාගත් කිසියම් වරදකට වැරදිකරු නොවන බවට වන සහතිකයේ මුල් පිටපත තම දේශීය පාර්ශවකරු හෝ නියෝජිතයෙකු මගින් රෙජිස්ට්‍රාර් ජනරාල් දෙපාර්තමේන්තුව වෙත යොමු කළ යුතුයි.

මීට අමතරව අදාළ විදේශිකයා කොරෝනා එන්නත්කරණය ලබා තිබේද යන්න ඇතුළත් ඔහුගේ හෝ ඇයගේ සෞඛ්‍ය තත්වය තහවුරු කරගැනීම සඳහා වන ස්වයං ප්‍රකාශයක් ද ඉදිරිපත් කළ යුතු වනවා.