මිරිස්ස තල්මසුන් නැරඹීමේ සංචාරක යාත්‍රාවලට පැනවූ සීමා ඉවතට

මිරිස්ස තල්මසුන් නැරඹීමේ සංචාරක යාත්‍රාවලට පැනවූ සීමා ඉවතට

මිරිස්ස තල්මසුන් නැරඹීමට යන සංචාරක යාත්‍රා හිමියන්ට වනජීවි දෙපාර්තුමේන්තුව විසින් පනවා ඇති සීමාවන් ඉවත් කිරිමට පියවර ගන්නා ලෙස සංචාරක අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා බළධාරින්ට උපදෙස් දී තිබෙනවා.

තල්මසුන් නැරඹීමට යන සංචාරකයන්ට බාධාවක් ඇති නොවන පරිදි මෙන්ම තල්මසුන්ට ද පීඩාවක් ඇති නොවන පරිදි එය සිදු කරන ලෙසයි ඇමතිවරයා ප්‍රකාශ කර ඇත්තේ.

මිරිස්ස මුහුදු තීරයේ තල්මසුන් නැරඹීමට යන සංචාරක යාත්‍රාවලට වනජිවි දෙපාර්තුමේන්තුව සීමා පණවා ඇති බවට මාධ්‍ය හා සමාජ මාධ්‍ය ඔස්සේ කළ අනාවරණවලට අනුව ඇමති ප්‍රසන්න රණතුංග මහතා සාකච්ඡාවක් සඳහා මිරිස්ස සංචාරක යාත්‍රා හිමියන්ගේ සංගමයේ නියෝජිතයන් කොළඹට කැඳවා තිබුණා.

ඒ සදහා වනජීවි දෙපාර්තුමේන්තු ප්‍රධානින් ද කැඳවා තිබුණා.

මිරිස්ස තල්මසුන් නැරඹීමට යන යාත්‍රා හිමියන් මෙහිදී සිය ගැටළු ඉදිරිපත් කළ අතර ඔවුන් පෙන්වා දුන්නේ තල්මසුන් නැරඹීම සඳහා සවස 2 න් පසුව පමණක් වනජිවි නිළධාරින් අවසර ලබාදෙන බවයි.

වනජිවි නිළධාරින් ඊට ප්‍රතිචාර දක්වමින් කියා සිටියේ විවිධ ගැටළුකාරි තත්ත්වයන් නිසා මෙම තීරණයට එළඹ ඇති බවයි.

අවශ්‍ය නිළධාරින් නොමැති වීම ද ඊට හේතුවක් බව ඔවුන් පෙන්වා දුන්නා.

ඒ මොහෝතේ මාතර දිස්ත්‍රික් ලේකම්වරයා දුරකථනයෙන් සම්බන්ධ කරගත් ඇමති ප්‍රසන්න රණතුංග මහතා රැකියා ලක්ෂයේ වැඩපිළිවෙල යටතේ බඳවා ගෙන ඇති රැකියාලාභින් දස දෙනෙකු මෙම කටයුතු සඳහා අනුයුක්ත කරන්න යැයි ඉල්ලා තිබෙනවා.

තල්මසුන් නැරඹීම සඳහා යන දෙස් විදෙස් සංචාරකයන් සඳ හා මිරිස්ස ධීවර වරායේ පහසුකම් වැඩි දියුණු කිරිම පිළිබඳව ද මෙහි දි දීර්ඝ ලෙස අවධානය යොමු කර තිබෙනවා.

සංචාරක, ධීවර හා වනජීවි අමාත්‍යාංශවල අමාත්‍යවරුන්ගේ සහ නිළධාරීන්ගේ රැස්වීමක් කැඳවා මිරිස්ස මුහුදු තීරයේ තල්මසුන් නැරඹීම ආශ්‍රිත ගැටළුවලට කඩිනමින් විසදුම් ලබාදීමට ද තීරණය කර තිබෙනවා.

ඒ සදහා අවශ්‍ය පියවර ගන්නා ලෙසයි ඇමතිවරයා සංචාරක අමාත්‍යාංශ ලේකම්වරයාට උපදෙස් ලබා දී ඇත්තේ.