“ජංගි හොරා” එළියට දමයි

“ජංගි හොරා” එළියට දමයි

ප්‍රවීණ චිත්‍රපට අධ්‍යක්ෂක සෝමරත්න දිසානායකගේ දහවන සිනමා නිර්මාණය, Underpants Thief (ජංගි හොරා) චිත්‍රපටය ඊයේ 23 වනදා සිට දිවයින පුරා සිනමාහල් වලදී තිරගත ආරම්භ කරයි.

අධ්‍යක්ෂක සෝමරත්න දිසානායක විසින්ම චිත්‍රපටයේ තිර පිටපත ද රචනා කර තිබෙන අතර නිෂ්පාදනය රේණුකා බාලසූරියගෙන්. කැමරා අධ්‍යක්ෂණය හසුරුවන්නේ විශ්වා බාලසූරියයි. Underpants Thief සංස්කරණය අජිත් රාමනායක විසින්. පුබුදු චතුරංග සමඟ දිල්හානි ඒකනායක චිත්‍රපටයේ ප්‍රධාන චරිත වලට රංගනයෙන් එක්ව සිටිනවා. මීට අමතරව චින්තක කුලතුංග, බුද්ධි රන්දෙණිය සහ තුමිඳු දොඩන්තැන්න ආදී ශිල්පීන් රැසක් Underpants Thief තුළින් ඔබට දැකගත හැකියි.

මානසික ව්‍යාධියකින් පෙළෙන තරුණයෙක් සහ ඔහුව ඉන් සුවපත් කරගැනීමට උත්සාහ දරන සහෝදරයාගේ බිරිඳ අතර සිදුවන සිද්ධි දාමයක් මුල් කරගෙන සිනමාපටය ගොඩ නැඟී තිබෙනවා. ආචාර්‍ය් රෝහණ වීරසිංහගේ ස්වර රටාවන්ට ශශිකා නිසංසලා සහ හර්ෂණ දිසානායකගේ ගීත කිහිපයක් Underpants Thief චිත්‍රපටයේ අඩංගු වනවා. සෝමරත්න දිසානායකගේ හුරුපුරුදු චිත්‍රපට ශෛලියෙන් බැහැර වූවක් නිසාම සමාජ මාධ්‍ය තුළ මේ ගැන විශාල කතාබහක් ඇති වූ බවක් දකින්නට ලැබුනා. Busan International Film Festival, Osaka Asian Film Festival ඇතුළු සිනමා උළෙලන් කිහිපයක්ම නියෝජනය කළ මෙය “වැඩිහිටියන්ට පමණයි” ලේබලය යටතේ ඊයේ 23 වනදා සිට ඔබට නරඹන්නට හැකියි.