“1956” රේඛාව චිත්‍රපටයේ ආදරය 2021 ට නැවත ගෙනා දයාන් විතාරණ

“1956” රේඛාව චිත්‍රපටයේ ආදරය 2021 ට නැවත ගෙනා දයාන් විතාරණ

දිවංගත ආචාර්‍ය ලෙස්ටර් ජේම්ස් පීරිස් නම් මහා සිනමාවේදියාගේ ප්‍රථම වෘතාන්ත චිත්‍රපටය වන “රේඛාව” සිනමාපටය නැවත ප්‍රේක්ෂකයන්ගේ මතකයට ගෙනා දයාන් විතාරණ

“රේඛාව” ගැන දයාන් විතාරණ තැබූ සටහන

ඕලු නෙළුම් නෙරිය රඟාලා………
කිකිණි හඬන වළා නගාලා…..
ගඟුල් තොටිල්ලේ…මල් ඇතිරිල්ලේ
මගේ කුඩා ඔරුව හබල් ගා…

සිසිර සේනාරත්නයන් විසින් ගායනා කරන ලද මෙම ගීතය නොඇසූ ශ්‍රාවකයෙකු නොමැති තරම්‍ ය.එය එතරම්ම ජනහදවත් තුළ ලැගුම් ගත් සෞන්දර්යාත්මක ගුණයෙන් අනූන ගීතයකි.

මෙම ගීතය ඇතුළත් වූයේ මෙරට සිනමා වංශකතාවේ හැරවුම් ලක්ෂයක් වන දිවංගත ආචාර්‍ය ලෙස්ටර් ජේම්ස් පීරිස් නම් මහා සිනමාවේදියාගේ ප්‍රථම වෘතාන්ත චිත්‍රපටය වන “රේඛාව” සිනමාපටයේයි.

1956 වසරේදී තිරගත වූ රේඛාව චිත්‍රපටය ඉන්දියානු අභාෂයෙන් මිදී දේශීය සිනමාවේ සිංහල සලකුණ සටහන් කළ ප්‍රථම සිනමාපටයි.චිත්‍රාගාරයේ තිබූ කැමරාව එළියට ගෙන එමින් ඔහු “56 සිනමා විප්ලවය” සනිටුහන් කළේය.

රේඛාව චිත්‍රපටයේ ප්‍රේමවතී හා නිමල් යන පෙම්වතුන් යුවළ ඔබට මතකද?
මීට 65 වසරකට පෙර එම චරිතයන්ට පණ පොවන ලද්දේ ආනන්ද වීරකෝන් සහ මල්ලිකා පිලපිටිය(රංගන ශිල්පී රොශාන් පිලපිටියගේ මෑණියන්) විසිනි.මේ ඉහත රූපයෙන් දැක්වෙන්නේ එම වසරේ සුප්‍රසිද්ධ ෆිල්ම්ෆෙයා සඟරාවේ පළවූ ඔවුන් දෙදෙනාගේ ඡායාරූපයකි.

රේඛාව තිරගත වී හරියටම වසර 65 කට පසු, එම ඉරියව්වෙන්ම ඔවුන් දෙදෙනා නැවත වරක් ඡායාරූප ගත කිරීමට මා භාග්‍යවන්ත වුණෙමි.එය මාගේ ඡායාරූපකරණ දිවියේ සුවිශේෂී අවස්ථාවක් ලෙස මා සළකමි.

මේ අවස්ථාව මා හට ඊයේ දිනයේදී, උදාවූයේ ගායන හා රංගන ශිල්පී ප්‍රියනාත් රත්නායක හා මනෝජා රත්නායක විසින් සංවිධානය කළ සම්මාන උළෙලකදීය.

සුවහසක් සිනමා රසිකයන් වෙනුවෙන් අද දින මේ ඡායාරූප ද්විත්වය මා විසින් පළ කරමි.

හෙළ සිනමාවේ රිදී රේඛාවන් වූ ඔබ දෙපළට,නිදුක් නිරෝගී චිර ජීවනය ප්‍රාර්ථනා කරමි.තෙරුවන් සරණයි”

මෙම ඡායාරූප ඇතුළු උපුටා ගැනීම දයාන් විතාරණ මුහුණු පොතෙනි