පාඨලී චම්පිකගේ දුව ගත්ත උපාධිය සහ ඔහු තැබූ සටහන

පාඨලී චම්පිකගේ දුව ගත්ත උපාධිය සහ ඔහු තැබූ සටහන

පාඨලි චම්පික රණවක තම දුව ලබා ගත් උපාධිය සම්බන්ධයෙන් තැබූ ෆේස් බුක් සටහන

හයිමන් ජෝර්ජ් රික්ඕවර් නම් එක්සත් ජනපද නාවුක අද්මිරාල්වරයා න්‍යෂ්ටික සබ්මැරීනයේ පියා ලෙස හැඳින්වේ. ඔහු කළ වැදගත් ප්‍රකාශයක් වූයේ 1965 උපන් X පරපුර සිය ජීවිත කාලය තුළම ඉන්ධනයක් ලෙස තෙල් භාවිත කිරීමේ අවසානය දකිනු ඇති බවය. මා අයත් වන්නේ ඒ පරපුරටය.

මගේ දියණිවරු අයත් වන්නේ 1995 න් පසු ඇරඹෙන Z පරපුරටය.

මගේ වැඩිමහල් දියණිය අමා මන්දස්මිතා අද දින (22.12.2021) මොරටුව විශ්ව විද්‍යාලයේ විදුලි ඉංජිනේරු උපාධිය ලබාගත්තාය. ඇයට පළමු පෙළ සාමාර්ථයක් ලබා ගැනීමට ද දෙපාර්තමේන්තුවේ පළමුවෙනියා වීමට ද හැකි විය. ඇගේ ඒ ජයග්‍රහණයන් පිළිබඳව සඟවා ගත නොහැකි ආඩම්බරයක් මට තිබේ.

ඇයට හා ඇගේ වසර කණ්ඩායමේ ඇගේ සහෝදර සියලු උපාධිධාරීන්ට මාගේ සුබ පැතුම්!

අමා මන්දස්මිතා මේ ගමන ආවේ විවිධ දුක් ගැහැට මැද ය. මා ඇයගේ පියා වීම නිසා ඇයට ගැරහුම්, අපහාස, අවමාන ලැබිණි. ඒවාට ඇය මට සමාව දෙනු ඇතැයි සිතමි. එසේම ඒ සියලු හැලහැප්පීම් මැද ඇගේ මව ඇයට විශාල ශක්තියක් වූ බවද කිව යුතුමය.

ඇය පාසල් ගියේත් විශ්වවිද්‍යාලයට ගියේත් පොදු ප්‍රවාහණයෙනි. මා මෙන්ම ඇය ද විශ්ව විද්‍යාලයට ගියේ කොට්ටාව – ගල්කිස්ස 255 බස් රථයෙනි. මට ඉගැන්වූ ගුරුවරු ඇයගේ ද ගුරුවරු වූහ. මගේ සමහර සමකාලීනයෝ ද ඇයගේ ගුරුවරු වූහ.

ඒ සියළුදෙනාට ඇයගේ ජයග්‍රහණය ඉදිරියේ ස්තූතිවන්ත වෙමි.

එමෙන්ම ඇය උගත් විශාඛා විද්‍යාලයේ හිටපු විදුහල්පතිනිය ඇතුළු ගුරු භවතුනට ද මගේ ස්තූතිය පිරිනමමි. ඔවුනගේ ශක්තිය හා රැකවරණය නොවන්නට ඇය විශාඛාවේ හොඳම ශිෂ්‍යාව වීමට ඉඩ නොතිබිණි.

ඉංජිනේරු විද්‍යාවට අමතරව ඇය කළමනාකරණය හා විවිධ භාෂා ප්‍රවීණත්වය ද ලබා ගත්තාය. නීති විද්‍යාල ප්‍රවේශයෙන් ද ලංකාවේ පළමුවැනියා විය.

1943 දී කන්නංගර මහතා ප්‍රමුඛ ප්‍රගතිශීලීන් නිදහස් අධ්‍යාපනය මේ රට තුළ ස්ථාපිත නොකරන්නට මාගේ දියණිය වැන්නවුන් බිහිවන්නේ නැත.

ඇයට මා ඇමතුවේ ‘ලොකු පුතා’ කියාය. පිටස්තරයින් ඉදිරියේ දී ‘අපේ ලොකු මිනිහා’ විය. ඒ ඇමතුම ඇතැමුන් පුදුමයට පත් කළ ද ඇයට ඒ යෙදුම් ගැලපෙන්නේ තරුණියක් වුවද මවක් මෙන් සං‍යත හා පියෙක් සේ පරිණත නිසා ය.

දුවේ නුඹට රන්වන් අනාගතයක්!